ඉන්දියාව කරන වැඩේ හරිද ?


 

 

තමන්ට නැති දෙයක් සම්බන්ධයෙන් අනුන්ට ඊර්ෂ්‍යා කිරීම සිත දියුණු කර නොගත් සාමාන්‍ය ජනයාගේ ලක්‍ෂණයකි. එය රාජ්‍යයකටද පොදුය. 1977 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාව නමැති නෞකාව හසුරුවන සුක්කානම අතට ගත් අවස්ථාවේ ඉන්දියානු මධ්‍යම ඔත්තු සේවය නොහොත් රෝ සංවිධානයට මෙවැනි ඊර්ශ්‍යාවක් පහළ විය. ජේආර් එතෙක් කුණාටු රහිත මුහුදක යාත‍්‍රාව පදවමින් සිටි දිශාව වෙනස් කරන්නට රෝ සංවිධානය කළේ ශ්‍රී ලංකාව අවට මුහුදට කෘති‍්‍රම කුණාටු ගණනාවක් මුදා හැරීමයි.

ජනපති ජේආර්ට පදවන්නට තිබුණේ වසර ගණනාවක් අබලන්ව තිබූ නෞකාවක් හෙයින් මෙම කුණාටුවලට මුහුණදීම අපහසු විය. 1970 සිට 1977 දක්වා පැවැති රජය ගෙන ගිය ආර්ථික ක‍්‍රමය ජනතා අප‍්‍රසාදයට ලක්ව තිබූ හෙයින් ජේආර්ට එතෙක් නොවූ විරූ හයෙන් පහක ජනවරමක් ජනතාවගෙන් ලැබුණද එම ජනබලය රටේ පූර්ණ යහපතට යොදා ගැනීමට බාධා ඇති වූයේ ඉන්දියානු මධ්‍යම ඔත්තු සේවය ඊර්ෂ්‍යාවෙන් පීඩිතව සිටි නිසාය.

එතැන් සිට 1987 දක්වා ඔවුන් කළ කීදෑ  වසර තිහක් දක්වා දිග් ගැසුනු මහා ඊලාම් සටන් බිම නිර්මාණය කිරීමට මූලික ඉන්ධන සැපයීය. රෝ අත පෙවීම නොවන්නට එවකට එජාපයට මේ රට සීඝ‍්‍ර ආර්ථික දියුණුවකට ගෙනියන්නට හැකියාව තිබිණි. කොමියුනිස්ට් ආර්ථික මූලිකාංගද ඇතුළත්වූ රජය පරාජය කළ ජේ. ආර්.ට බටහිර රටවල ආධාර ගලා ආවද ඒ සියල්ල වසරින් වසර විනාශ කරන මහා ත‍්‍රස්තවාදී ගැටුම ආරම්භ කළේ මෙම රෝ සංවිධානයේ මැදිහත්වීමෙනි. එම ඊලාම් අරගලය නිසාම දකුණ ද ගිනිගත්තේ ජවිපෙ එයට එරෙහිව නැගී සිටීම නිසාය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් එකිිනෙකා අතර ගැටීමේ මෙම දේශපාලනය හදා වඩා පෝෂණය කළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සීග‍්‍රයෙන් පල්ලම් බසිනු බලා සිටියේය. එජාපයේ දැවැන්ත ප‍්‍රතිරූප වූ ජනපති පේ‍්‍රමදාස සහ ලලිත් ඇතුළත් මුදලි මහමග මිය ගියේ ”රෝ” අනුදැනුම මත බව කියැවුණද එය කිසිවකුට ඔප්පු කළ හැකි වූයේ නැත.

පළාත් සභා බලතල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගන්නට යන ක‍්‍රියාමාර්ග  පැහැදිලි කරන්නට ඉකුත් සතියේ ඉන්දියාවට ගිය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කියා ඇත්තේ පළාත් ඒකාබද්ධ කිරීමට විශාල විරෝධයක් ශ්‍රී ලංකාවේ ඇති බවයි. මෙතෙක් කිසිම පළාතකට ඉඩම් බලතල නොදුන් බව ද මේ දක්වා පත් වූ මහ ඇමැතිවරුන් ඒ සඳහා ස්වයං වාරණයක් දමාගෙන සිටි බව ද ඇමැතිවරයා පවසා තිබේ. ඔහු තවදුරටත් කියා ඇත්තේ 1989 ජවිපෙ සන්නද්ධ නැගිටීමට හේතුව ද බලහත්කාරයෙන් ඇති කළ පළාත් සභා ක‍්‍රමය බව ය.

1987 දී ඉන්දියානු රජයේ මැදිහත්වීමෙන් ඇති කළ ගිවිසුමට අදාළ යම් දෙයක් හෝ වෙනස් කිරීමට තම රට විරුද්ධ බව ඉන්දියානු නායකයන් මෙහිදී පවසා තිබේ. 13 සංශෝධනයට එහා ගිය දෙයක් ලබාදෙන බව ජනපති තමන්ට කී බව ද දැන් සිදුවන්නට යන්නේ එම සංශෝධනයෙනුත් බලතල අඩු කිරීම බව ද ඉන්දියානු ප‍්‍රධානීන් පවසා ඇත.

ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිව ශංකර් මෙනත් ආවේ ඉන්පසුව ය. ජ්‍යෙෂ්ඨ ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වන ඔහු එම තනතුරට පෙර චීනයේ හා ඊශ‍්‍රායලයේ තානාපති ධුරයන් ද ශ්‍රී ලංකාවේ හා පාකිස්ථානයේ මහ කොමසාරිස් ධුරය ද හොබවා ඇත.

ඉන්දියාවේ වර්තමාන සූදානම කුමක්ද? මධ්‍යම ඔත්තු සේවය නොහොත් රෝ සංවිධානයේද උපදේශකවරයා වන ජාතික ආරක්‍ෂක උපදේශක මෙනන්  මහතාගේ පැමිණීම ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව පිණිස මෑතක සිට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අරඹා ඇති මුහුදු ආරක්‍ෂණ හවුලේ සාමාන්‍ය චාරිකාවක් ලෙස පෙන්නුම් කළද ඔහුගේ පැමිණීම හා පිටව යාමත් සමග කරළියට ආ පුවත් කිහිපයක් ලාංකීය ජනතාව අතර යළිත් සැක සංකා අවුලවයි. ඉන් එක් ප‍්‍රවෘත්තියක් වන්නේ මුස්ලිම් කොංග‍්‍රසයේ නායකයන් පළාත් සභා බලතල අඩු කිරීම පිළිබඳ පත්කළ තේරීම් කාරක සභාවට නොයාමට ගත් තීරණය මෙනන්ගේ ඇගැයුමට ලක්වීමයි. මුස්ලිම් කොංග‍්‍රසය සම්බන්ධයෙන් තමන් සතුටුවන බව කී මෙනන් මහතා ඉන්දියාවට පැමිණ රජයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවන ලෙස ඇරියුමක්ද කළේය. මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා එම ඇරියුම පිළිගත්තේය. ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මෙන්ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවද ඉන්දියාවේ උපන්නවුන් බවයි. එනිසා ඉන්දීය ඇරියුම මුස්ලිම් කොංග‍්‍රසය හිස මුදුනින් පිළිගෙන ඇත. එහි වැරැුද්දක් නැත. එම ජනවර්ග දෙක මෙන්ම සිංහලයා ද ඓතිහාසික මූලාශ‍්‍ර අනුව පිළිගන්නේ තම ආදි මුතුන් මිත්තන්  මේ බිමට පය තැබුවේ ඉන්දියාවෙන් බවයි. එතෙක් එසේවූ පමණින් ඉන්දියාවට මෙරට දේශපාලනයට බලපෑම් කළ හැකිද යන ප‍්‍රශ්නය ජනතාව තුළ ඇත.

ඉකුත් කාලයේ දෙමළ ජාතික සන්ධානය උත්සාහ කළේ තමන්ට උතුරු පළාත් සභාවේ බලය ලබාගෙන මුස්ලිම් කොංග‍්‍රසයට නැගෙනහිර පළාතේ පාලන බලය ලබාදීමටය. මේ සඳහා දෙමළ සංධානය කියන්නේ එකම දෙමළ භාෂාව කතා කරන විවිධ ජනවර්ග දෙකක් ලෙස පළාත් සභාවේ එකට වැඩ කළහැකි බවයි. එම යෝජනාව දැනට කි‍්‍රයාත්මක නොවන්නේ මුස්ලිම් කොංග‍්‍රසය එම යෝජනාවට අකමැති වූ නිසාය. ඉන්දීය ආරක්ෂක උපදේශක වන මෙනන්ගේ මේ ඇරියුම යළි එවන් දීගයක් සඳහා මුස්ලිම් කොංග‍්‍රසය පෙළැඹවීමටද?

තවත් ප‍්‍රශ්නයක් මතුවන්නේ දකුණු ආසියාවේ නැගීඑන මූලධර්මවාදී මුස්ලිම් සංවිධාන නිසාය. බුද්ධගයා ප‍්‍රහාරය පසුපස ඉන්දිය මුජහිදීන් නමැති කුඩා සංවිධානයක් සිටින බව ඉන්දීය බලධාරීන් කියා සිටියේ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසුවය. පාකිස්ථානයේ සිට කි‍්‍රයාත්මක  අල්කයිඩා සාමාජික පක්‍ෂයක් වන ලක්‍ෂාර් ඊ තලිබා සංවිධානයේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන් ගැවසෙන බව ප‍්‍රකට මතයකි. අල්කයිඩා සංවිධානය ශ්‍රී ලංකාව රැුකවරණ මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කරන බව ඇමරිකාව ද  සඳහන් කර ඇත. ඔවුන් කියන්නේ මාලදිවයින හා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා තුළ ඇති අනුකම්පාව මත මේ කටයුතු සිදුවන බවයි.

නැගෙනහිර පළාතේ එල්ටීටීඊය වළලා ඇති ආයුධවලට එම ප‍්‍රදේශයේ යම් යම් පිරිස් ඇස ගසාගෙන සිටින බවද රහසක් නොවේ. ඒ නිසා මේ සිදුවන සියලූ දෑ සමග ඉන්දියාව මෙරට තවත් අන්තවාදයක් ඉපැද්දවීමට සූතිකාගාරයක් තනමින් සිටින්නේදැයි යමකුට සැක මතුවීම සාධාරණය.

ඉන්දියාව ලංකාවට එරෙහි වන අනෙක් ප‍්‍රශ්නය ලෝක වෙළෙඳපොළේ යම් ඉඩකඩක් අල්ලා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයයි. ඒ සඳහා වසර ගණනාවක් ඉන්දියාවේ සහාය ඉල්ලා එය වචනවලට පමණක් සීමා වූ කල ලංකාව කළේ චීනය හා වෙනත් මැද පෙරදිග රටවල සහාය සොයා යාමය. චීනය ලංකාවේ උදව්වට එනවිට ඉන්දියාව කළේ ඇමරිකාවේ සරණ සොයා යාමයි. එහෙත් අප අවබෝධ කරගත යුතු වන්නේ චීනය කරන්නේ ලෝකය පුරා වෙළෙඳපොළ සොයා යාම මිස රටවල් ආරක්ෂා කිරීම නොවන බවයි. ඉතිහාසයේ දෙවරක් එකිනෙකා හා යුද වැදුනද මෑත චීනය හා ඉන්දියාව ධනය කෝටි ගණනින් විනාශ වන යුද්ධවලට එළඹෙනවාට වඩා උත්සාහ කරන්නේ එකිනෙකාට තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමටය.

ශ්‍රී ලංකාව පැටලී ඇති තරගය හා උගුල ඇත්තේ එහිය. තම රටවට වන සේ චීන වරායවල් තම අසල්වැසියන්ගේ රටවල ඉදිවෙමින් ඇතැයි විශ්වාස කරන ඉන්දියාව ලෝක මහ බලවතාගේ සහාය පැතුවේය. පාකිස්ථානයේ ගඩාර් සහ පස්නි වරාය ද ශ්‍රී ලංකාවේ හම්බන්තොට ද එසේ ඉදිවූ නව වරාය වේ. මෙම වරාය  ඕනෑම මොහොතක චීනයේ නෞකා සඳහා ඛනිජ තෙල් ලබාගත හැකි ස්ථාන වේ. අනෙක් වරාය වන්නේ බංග්ලාදේශයේ චිතගොං වරායයි. මෙයද චීන සහයෝගිතාවෙන් නවීකරණය වන වරායකි. මෙම ති‍්‍රකෝණය ඉන්දියාව සළකන්නේ තම රට වටකොට බැඳෙන චීන පවුරු ලෙසය. එමගින් කලාපයේ මිලිටරි ආධිපත්‍යය ලබාගන්නා ගමන් තම වරායවලට ලැබෙන නෞකා බහාලූම් කටයුතු මෙම නව වරායවලට ලබාගන්නට හදන බව ඉන්දියාව සිතයි.
යුද්ධයෙන් නිදහස් වූ රටේ ගෙවීයන මේ නිදහස් සමය ඉන්දීය ඔත්තු සේවාවන්ට දරා ගැනීමට බැරි බව නම් ඇත්තකි. ඒනිසා මේ ගැන දුරදිග සිතා බැලීම කාගෙ කාගේත් යහපතට හොඳය.

 

සටහන : පේ‍්‍රමකීර්ති රණතුංග