ඉන්දියාවෙන් එන්න හදපු ගවරාට තහනමක්


ලොව මානව ඉතිහාසයේ මානවයා හා සමීපව ඇසුරු කළ සතුන් අතුරින් ගවයා, සුනඛයා, ඔටුවා, අශ්වයා හා අලියා ප්‍රධාන වන අතර අද වුවද එම සමීපතාව එලෙසමය. එහෙත් අද අපේ කතාව ගෙන යන්නේ වසර තුන්සියයකට පෙර මෙරටින් සමුගත් ගවරා නම් සත්වයා ගැනය.   ඒ 17 වැනි සියවසේදී මෙරටින් වඳවී ගොස් අැති ගවරා හෙවත් ඉන්දියානු බයිසන් නම් ගව විශේෂය ශ්‍රී ලංකාවේ වනාන්තරවලට යළි හඳුන්වාදීමේ සූදානමක් පවතින මොහොතකය.   


ගවරා නමැති ගව විශේෂයේ සත්ත්වයන් හය දෙනෙකු ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස අගෝස්තු මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පාර්ශවය විසින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව පසුගියදා ඉන්දීය ජනමාධ්‍ය අනාවරණය කළේය.   


ඒ අනුව කරළියට ආ ඉන්දියානු ගවරා ගැන විවිධ පාර්ශව විවිධ මතයන් ප්‍රකාශ කරන්නට ආරම්භ වී ඇත.   


වසර 3000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ගවරාගේ ව්‍යාප්තිය   


අදින් වසර මිලියන ගණනාවකට පෙර ආරම්භ වී දිගු කාලයක සිට විශේෂ ලක්ෂණ සහිත කාලපරිච්ඡේදයක් නොහොත් භූ විද්‍යාත්මක අවධියක් වශයෙන් හඳුන්වන ප්ලයිස්ටොසීන අවධිය අධික ශීත දේශගුණ තත්ත්වයන් පැවති කාලයකි. ග්ලැසියර් සමය හෙවත් එම සමය ලොව වැඩිපුරම හිම සහ අයිස්වලින් වැසී තිබූ දේශගුණික තත්ත්වයක් පැවති බවද ශ්‍රී ලංකාවේද ප්ලයිස්ටොසීන (Pleistocene) අවධියක් ක්‍රියාත්මක වූ බවද භූ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇත.   


ශ්‍රී ලංකාවේ පැවැති ප්ලයිස්ටොසීන අවධිය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කොට අධ්‍යාපනය සිදු කර ඇත්තේ ආචාර්ය පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල විද්වතා විසිනි. එම අවධියේදී ලංකාවට ආවේණික ගවර විශේෂයක් ජීවත්ව සිටි බවට සහ ගවරා පිළිබඳ ඇසිදුටු යැයි සනාථ කළ හැකි ප්‍රථම සාක්ෂින් හමු වන්නේ 1962 වර්ෂයේදී පුරාවිද්‍යා පර්‌යේෂක දැරණියගල විද්වතා විසින් කළ කැනීමකදීය.   


ප්ලයිස්ටොසීන යුගයේ ලංකාව තුළ හිපපොටේමස්, රයිනෝසිරස් වැනි සතුන් රත්නපුරය, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල, කහවත්ත දක්වා පැවති තෙත් කලාපීය වගුරු බිම්වල වාසය කර ඇති බවට හමුවූ පොසිල සාක්ෂි දරනවා ඇත. එම දැවැන්ත සතුන් සමග වාසය කළ දැවැන්ත සත්ව විශේෂයෙක් ලෙස ගවරාද හඳුන්වනු ලබයි.   


සත්ව පුරාවිද්‍යා විශේෂඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ එම යුගයේ සිටි සතුන් විශාල ප්‍රමාණයක් වඳවී යාම ආරම්භ වී ඇත්තේ සතුන් දඩයම් කිරීම සහ වගාව හේතුවෙන් පරිසර පද්ධතිවලට සිදුවූ විනාශය නිසා බවයි. ප්ලයිටොසීන යුගයේ දී අද අපට දක්නට නැති බොහෝ සතුන් මෙරට ගොඩබිම තම අණසක පතුරවමින් සිටි බවට මෙරටින් හමුවී ඇති පොසිල සාධකවලින් පැහැදිලි වෙන අතර කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ ගවරා නැමැති ගව විශේෂයේද පොසිල රත්නපුර පතල් වළවල්වලින් හමුවී ඇති බවයි.   


ඒ පිළිබඳව දීර්ඝ කාලයක සිට අධ්‍යයනය කරන ඔහු පවසන්නේ අද අපට දක්නට ලැබෙන අලියා හැර වඳවී ගිය වෙනත් අලි විශේෂ තුනක්ද මෙරට වාසභූමි කරගෙන ජීවත්ව ඇති බවයි.   

 


ඒ අනුව ප්ලයිස්ටොසීන යුගයේ සතුන් අතරින් අවසානයට වඳවී ගොස් ඇත්තේ ගවරා නම් වන අලියාට පමණක් දෙවෙනි වන සුවිසල් ගව විශේෂයක් බව සඳහන් කරන සත්ව පුරාවිද්‍යා විශේෂඥ මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ හිපපොටේමස්, රයිනෝසිරස් වැනි සත්ව විශේෂ වඳවී ගොස් ඇත්තේ අදින් වසර ලක්ෂයකට පෙර බවයි. පූර්ව යුගයන්හි සිට සතුන් පිළිබඳ අධ්‍යනයේ දී මතුකරගෙන ඇති සාධක අනුව මනමේන්ද්‍රආරච්චි මහතා පැවසුයේ අපුරු කතාන්දරයකි.   


‘‘ගවරා මහනුවර යුග​යේ අග දක්වාම ලංකාවේ කැලෑවල ජීවත් වුණු ශක්තිමත් හා ඉතාම කෲර සතෙක්. හැඩි දැඩි ලෙස වැඩුණු දැවැන්ත කුළු හරකෙකුට වඩා උස මහත වූ කෑලෑව තම රාජධානිය කොට ජීවත් වූ සතෙක් ලෙස එක්දාස් අටසිය ගණන්වල අවසානයේ හමුවෙලා තියෙන සාධකවලින් යම් නිගමනයන්ට යොමුවීමේ හැකියාව තිබෙනවා.   
18 වැනි සියවසේ දී ලියැවුණු ගණදෙවි හෑල්ලේ තියෙනවා ලංකාවේ කන්ද උඩරට රාජධානියේ රාජසිංහ රජුට අයත් ගවලෙනේ සුදු ගවරෙකු සුරතලයට ඇති කළ බවට. එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයකු තැබූ වාර්තාවක දැක්වෙනවා ශ්‍රී පාද අඩවියේදී ගවරකු දුටු බවට ගැමියකුගේ ප්‍රකාශයක්. ඒ දවස්වල යුද සෙබළුන්ගේ කාය ශක්තිය මැනීමටත් ගවරුන් ගැවසෙන කැලෑවකට හෙල්ලයක් පමණක් දී ගවරුන් සමග සටන් කිරීමට සිදු වූ ‘‘ගවර කෙළිය’’ නම් ක්‍රීඩාවක් පිළිබඳවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.   


පුරාවිද්‍යා කැනීම් අනුව ලංකාවේ ක්ෂීරපායි අංකුරයන්ගේ අවසානයටම වඳ වී ගිය සත්වයා ලෙස ද ගවරා හඳුන්වන්න පුළුවන්. මගේ මතය අනුව ගවරා වඳවුණේ මීට අවුරුදු දෙතුන් සියයකට පමණ කලින්’’.   


ගවරා ඉන්දියාවේ වනාන්තරවල අදටත් ජීවත් වන අතර එම සතා හැඳින්වෙන්නේ ඉන්දියන් බයිසන් යන නමිනි. එම සත්වයා මෙරටට ගෙන ඒම පිළිබඳවද කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා පවසන්නේ මෙවැන්නකි.  


‘‘ගවරා  කියන්නේ වනයේ ජීවත්වන හුදකලා මෘගයකු වන සතෙක්. එතකොට  පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඉල්ලීමකට අනුව බයිසන් ගවයින් හයක් ලංකාවට ලබාදීමට මේ වෙනකොට ඉන්දියානු පරිසර හා වනාන්තර අමාත්‍යාංශයට යොමුවෙලා තියනවා කියලා එරට මාධ්‍ය මගින් ප්‍රකාශ කළා.  


එතකොට ගවරා කියන සතා අපේ රටේ නිදහසේ දාන්න තරම් ලොකු පරිසර පද්ධතියක් අපට නැහැ. මේ සතා අපි ගෙනත් දානවානම් දාන්න ඕනැ හෝර්ටන්තැන්න වගේ උඩරට කඳුකර සීතල පළාතට. එතකොට මිනිසුන්ට නිදහසේ පයින් සංචාරය කරන්න බැරි වෙනවා. ඉන්දියානු බයිසන් ගවයා කියන්නේ දරුණු ගණයේ සතෙක්. ගවරා ලංකාවට ​ගේනවා නම් නිසි ක්‍රමවේදයක් ඇතුළත ගෙන ආ යුතුයි. ගවරා කියන සතා ගෙනැල්ලා නිකම්ම කැලේට අතාරින්න බැහැ. අනිවාර්යෙන්ම යම් ප්‍රදේශයක් වෙන් කරලා අලිවැට වගේ විදුලි වැටක් වැනි දෙයකින් කොටු කරන්නට වෙනවා. මීට මාස කීපයකට ඉහතදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහත්මා මට කතා කරලා ගවරා ලංකාව​ට ගෙන ඒම පිළිබඳ අදහස් විමසුවා. අපෙන් වඳවී ගිය සතෙක් නැවත අපේ රටට ලැබෙන එක හොඳයි. ඒත් අපට ඒ වගේ දැවැන්ත සතෙක් රැකගන්න තරම් පරිසර පද්ධතියක් තියෙනවද කියන ගැටලුව එනවා. සංචාරකයොත් ඒවි. හැබැයි බයිසන් ගවයා මේ වෙලාවේ ලංකාවට ගේන එක තාත්විකද කියන එක ගැටලුවක්. ගේන්නම්වාලේ ගවරා ලංකාවට ගෙනාවොත් අලි මිනිස් ගැටුම් වගේ විනාශකාරී අර්බුද රැසක් මතු වෙන්න පුළුවන්’’ යැයි ඔහු පවසයි. බොවිනේ කුලයේ සාමාජිකයන් වන ගවයා, මී ගවයා, යැක් ගවයා යන ගවයන් වර්ගීකරණය අතර බොවිනේ කුලයට අයත් ගවයන් අතුරින් වඩාත් විශාලතම හා ගොඩබිම ජීවත්වන බරින් වැඩිම සත්වයා වන්නේ බයිසන් බොනාසස් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගවරාය. ශරීරය තද කළු පැහැයෙන් සමන්විත ගවරා ඉතා ජවසම්පන්නය. ගවරා හිසෙන් පහර දෙන වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ වෙයි. ගවරා පිළිබඳව පැරණිතම සටහන සඳහන් වන්නේ 1681 වර්ෂයේදී රොබට් නොක්ස් විසිනි.   


එමෙන්ම ඓතිහාසික සටහන් සහ ඇතැම් ග්‍රාමීය ව්‍යවහාර නාම ආදියෙහි ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන සාක්ෂි ඉතිරිව ඇත. ගවරම්මන, ගවර එළිය, ගවරවිල මෙන්ම ගවරා ආහාරයට ගත් ගවරමාන නමැති පඳුරු විශේෂ ද තවමත් උඩරට සීත ප්‍රදේශවල දැකගත හැකිය. ලංකාවේ ගවරුන් සිටි බවට රොබට් නොක්ස්, ජෝන් ඩොයිලි, මේජර් ෆොබ්ස්, ජේම්ස් සමර්සන් ටෙනට් වැනි අය විසින් දිගින් දිගටම ලියා ඇති පැරණි සටහන් ඊට සාක්ෂි දරනවා ඇත.   


ගවරා ලංකාවෙන් තුරන් වූයේ ඇයි?   


19 වන සියවසේ අගභාගයේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් ගවරා නම් සත්වයා විශාල වශයෙන් දඩයම් කළ බවත්, සුදු ජාතිකයන් මුලදී කෝපි වතු සඳහාත් පසුව තේ වතු සඳහාත් මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතිය විනාශ කිරීම ගවරා වැනි සතුන් වඳවීමට තදින් බලපෑ බවත් පුරාවිද්‍යා විශේෂඥයෝ පවසති.   


අපේ රටේ මේ වනවිට ඉතිරිව ඇත්තේ ස්වාභාවික වනාන්තර භූමි ප්‍රමාණයෙන් 17% ක් බවත් ඉන් 14% වියළි කලාපීය වනාන්තර වන අතර තෙත් කලාපීය වනාන්තර 3% ක් බවත් ගවරා වැනි සතෙකුට සරිලන වනාන්තර පද්ධතියක් අපේ රටේ මේ වනවිට නොමැති බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.  


‘‘ගවරා කියන්නේ මෑත ඉතිහාසයේ ලංකාවේ ඉඳලා වඳවුණු සතෙක්. එම සතා ජීවත් වෙලා තියෙන්නේ තෙත්කලාපීය ප්‍රදේශවල. එතකොට මේ වෙනකොට අපේ ලංකාවේ තෙත් කලාපීය වනාන්තරය විනාශ වෙලා ගිහින්. ඉතිරි වෙලා තියෙන්නේ 3% ක් වගේ පුංචි ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයේ ගවරා වගේ සතෙක්ව ස්ථාපිත කරන්න කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. නකල්ස් කඳුකරය, ශ්‍රීපාද අඩවිය, සිංහරාජ අඩවිය විතරයි අපිට දැන් තෙත් කලාපයට ඉතිරි වෙලා තියෙන්නේ.  


ගවරා කියන සතාව වියළි කලාපීය වනාන්තරවලට ගෙනත් දාන්න බැහැ. වියළි කලාපීයව අලි ජීවත් වෙනවා. අලි ජීවත් වෙද්දි මේ වගේ සතෙකුට ඕනැ කරන ආහාර ඉතිරි වෙන්නේ නැහැ. ඒකත් එක්ක ලොකු ඝට්ටණයක් ඇතිවෙන්න පුළුවන්. මේ වෙනකොට අලියා, රිලව්, ඌරෝ, වඳුරෝ අතර මිනිස් ගැටුම් දරුණු ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ සතුන් ගම් වදින ක්‍රියාවලිය බහුල වෙලා තියෙන්නේ. ඒ සතුන්ගේ වාසස්ථාන මිනිස්සු විසින්ම විනාශ කරලා තියෙන නිසා. ඒ වගේ තත්ත්වයකදි ගවරෙක් ගෙනැල්ලා කැලේට අතාරිනවා කියන්නේ තවත් ගැටලුවකට පසුබිම ගොඩ නැගෙන එක. අපේ රටේ ඕනෑ තරම් පාරිසරික ප්‍රශ්න තියෙනවා විසඳගන්න. කොහොම වුණත් ලංකාවේ පරිසර පද්ධති ගත්තම ගවරා වගේ සතෙකුට සරිලන පරිසර පද්ධතියක් දැන් අපේ රටේ නැහැ.’’ පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි.  


මෙලෙස ගෙන්වන බයිසන් ගවයා ලංකාව තුළ ජීවත් වූ ගවරාට සමානකම් දක්වනවාද යන්න නොදන්නා බවත් ඒ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් මේ වනවිටත් සිදු කර නැතැයිද පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසීය. වනාන්තර ප්‍රමාණය සීමා සහිත වීම නිසා මිනිසුන් සහ සතුන් අතර ගැටුම් නිරතුරුවම ඇතිවන බවත් අලි මිනිස් ගැටුම නිසා අලි 350 ක්ද මිනිස් ජීවිත 100 පමණ වසරකට රටට අහිමි වන කාල සීමාවක මිනී මරන බයිසන් ගවයින් මෙරට වනාන්තරවලට මුදා හැරීම අනවශ්‍ය ගැටලු ඇතිකරන්නක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.  


කෙසේ නමුත් වසර තුන්සියයකට කලින් ශ්‍රී ලංකාවේ සමුගත් ගවරා 1986 වසරේ සිට සොබාදහම සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය (IUCN) විසින් වඳවීමේ තර්ජනයට ලක්වූ විශේෂවල රතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත.  

 

 

නදීශා අතුකෝරළ