කොළඹ - 7 හෝර්ටන් පෙදෙසේ නිවාස තුනකට වසරකුත් මාස පහක කාලයක් තිස්සේ විදුලිය බල මණඩලයෙන් විදුලිය ලබා දෙන්නේ තාවකාලික සබඳතාවකින් බව එම නිවාස හිමිකරුවන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
එම නිවාස තුනෙහි විදුලිය විසන්ධිවී තිබෙන්නේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීය. ඒබව නිවෙස් හිමිකරුවන් විදුලි බල මණ්ඩලයට දැනුම් දීමෙන් පසුව නිවාස හිමි මාර්ගයේ ඇති සම්ප්‍රේක්ෂණ කුටියකින් තාවකාලිකව එම නිවාස තුනට සම්බන්ධතාව ලබාදී ඉතා ඉක්මනින් විදුලිය සැපයීම යථාවත් කරන බව විදුලි බල මණඩලය දැනුම් දී තිබේ. එම දැනුම් දීමට වසරකුත් මාස පහක් ගතවී තිබේ. එහෙත් එම නිවාසවලට තවමත් විදුලිය සැපයෙන්නේ තාවකාලික සබඳතාවකිනි.
මේ සටහන තබන විට ද තත්ත්වය එසේම පවතී.
විදුලිය තාවකාලික සබඳතාවකින් ලබාදීම ගමේ භාෂාවෙන් කියැවෙන්නේ විදුලිය ඇටවීමක් ලෙසය. පහසුකම් අඩු ගමේ එසේ විදුලිය අටවා දුන්නද කොළඹ හතේ එසේ සිදුවිය හැකිද? කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ මෙම අලකලංචියට මුහුණ දී සිටින එක් නිවාස හිමිකරුවකුවන හිටපු ජනාධිපති උපදේශකයකුවන සුනිමල් ප්‍රනාන්දු මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වසරක් හා මාස පහක කාලය මුළුල්ලේ තම නිවෙසට විදුලිය සැපයෙන්නේ තාවකාලික සම්බන්ධතාවකින් බවය. සෙසු නිවාස දෙකෙහි හිමිකරුවන් වන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නාලක තල්වත්ත හා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරුන්ය.
අප ප්‍රවෘත්තියේ සඳහන්වන්නේ තම නිවාසවලට ස්ථිර විදුලිය සම්බන්ධතාව ලබාදෙන ලෙස විදුලි බල මණ්ඩලයට එම නිවෙස් හිමියන් බොහෝ අවස්ථාවල දැනුම් දුන්නද එය තවමත් සිදුවී නැති බවය. නගර සභාවෙන් හා තවත් ආයතන කිහිපයකින් ඒ සඳහා අවසර ගත යුතු බවත් ඒ සඳහා කල්යන බවත් විදුලි බල මණඩලය පිළිතුරු සපයා තිබේ.
අවසානයේදී එම නිවෙස් හිමියන් එකී ආයතනවලින් අවශ්‍ය අවසර ලබා ගැනීමට මැදිහත් වුව ද තවම වරද නිවැරැදි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර නැති බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අප පුවත්පත ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්රකාශකයකුගෙන් මේ සම්බන්ධයෙන් විමසූවිට ඔහු කියා තිබෙන්නේ වසරකට වැඩි කාලයක් පුරා තාවකාලිකව නිවෙසකට විදුලිය සබඳතා ලබාදීම ඉතා භායානක බවය. එමෙන්ම එය බෙහෙවින් අනතුරුදායක බවය.
කරුණු කාරණා එපරිදිනම් වසරකුත් මාස පහක් තිස්සේ මෙම වැරැද්ද නිවැරදි කිරීමට විදුලි බල මණ්ඩලය ක්‍රියා නොකරන්නේ ඇයි? අප මෙම ප්රශ්නය මතු කරන්නේ කොළඹට කිරි අපට කැකිරි යනුවෙන් සටන් පාඨයක් තිබෙන හෙයිනි. එහෙත් මෙම ප්‍රවෘත්තියෙන් එම තත්ත්වය වෙනස්වී තිබේ. කොළඹට කිරි නොව කොළඹ හතටත් කැකිරි යනුවෙන් සංශෝධනය විය යුතුය. මන්දයත් කොළඹ - 7 තත්ත්වයත් මෙසේ නම් ගමේ තත්ත්වය කෙබඳුදැයි හඳුනා ගැනීමට අසීරු නොවන හෙයිනි.
මෙම සිදුවීම හරහා ප්‍රශ්න කෙරෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂමතාව වේ. ලංකා විදුලි බල මණ්ඩලය ඉතා කාර්යක්ෂම මෙන්ම විධිමත් හා වගකීම් සහගත ලෙස ක්‍රියාත්මක විය යුතුය. විදුලිය බලය යනු තවදුරටත් එක්තරා පන්තියකට අයත් දෙයක් නොවේ. රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තෘප්තියට පත්වීමට මනාලෙස විදුලිබල සපයන සාධකයක් ලෙස වර්තමානය වනවිට විදුලිය බල අවශ්‍යතාවෙන් සියයට 90 කට වඩා සම්පූර්ණ කර තිබේ. ඒ අනුව විදුලිය බලය යනු ජන ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව තිබේ. හිටිහැටියේ විදුලිය බලය විසන්ධිවීම කොතරම් දුර්විපාක ගෙන දෙන්නේදැයි අත්දැකීම් නොලද පුරවැසියකු නොසිටිය හැකි තරම්ය.
කාර්යක්ෂම බව අතින් ඉතා ඉහළ තත්ත්වයක තිබිය යුතු වුවද කොළඹ 7 නිවෙස් තුනකට විදුලිය බලය ස්ථීරවම සැපයීමට වසරක හා මාස හයක කාලයක් දැනට ගතවී තිබේ. තව කොතෙක් කලක් බලා සිටීමට සිදුවේදැයි කිව නොහැකිය.
ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යක්ෂමතාවට අදාළ තවත් ප්‍රවෘත්තියක් නොබෝදා අප පුවත්පත වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ හැටන් නගරය ආශ්රිත ප්‍රදේශ තුළ මේ දිනවල සිදුවන විදුලිය ඇණහිටීම හේතුවෙන් විදුලි පරිභෝගිකයන් බලවත් දුෂ්කරතාවලට මුහුණපා සිටි බවය. විශේෂයෙන්ම වරින්වර විදුලිය ඇණහිටීම හේතුවෙන් ආපනශාලා මෙන්ම වෙළඳ ස්ථාන පවත්වාගෙන යාම ඉතා දුෂ්කර බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. ශීතකරණ හා අධිශීතකරණවල තබා ඇති ආහාර ද්‍රව්‍ය මේ නිසා විනාශ වන බව වෙළඳ ව්‍යාපාරිකයන් පවසන බවද එහි සඳහන්ය. එසේ වීමෙන් එම ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට සිදුවේ. නැතහොත් ඒවා පරිභෝජනයට ගතහොත් මිනිසා රෝගී වේ.
ඒ අනුව බලනවිට නිමක් නැති ප්‍රශ්න මාලාවක් ඒ අනුව ජනිත වේ.
විදුලිය ඇණහිටීම් ස්වාභාවිකය. ඒවා බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් විදුලි බල මණ්ඩලයට තිබිය යුතුය. මන්දයත් එය ජන ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බැවිනි. එමෙන්ම ජනයා විදුලිය පරිහරණය කරන්නේ අධික මුදලක් ගෙවමින් වන හෙයිනි. එහෙත් කොළඹ - 7 තත්ත්වයත් එයාකාරනම් රටේ සෙසු පළාත්වල තත්ත්වය කෙබඳු දැයි වටහා ගැනීමට අසීරු නැත.