ගොවි - පාරිභෝගික දෙපිරිසම රකිමු


එළැඹෙන්නේ උත්සව සමය වේ. වේලක් හැර වේලක් කමින් යාම්තමට  ජීවිතය ගැටගසාගෙන සිටින ජනයාට උත්සව සමය යනු දවල්තරු පෙනෙන මාතෘකාවකි. ආර්ථික අර්බුදයට අමතරව සියලු ආකාරයේ ජාවාරම්කරුවන්ගේ, අතරමැදි මාෆියාකරුවන්ගේ, මංපහරන්නන්ගේ නින්දිත සූරා කෑමට ජනයා ලක්වන්නේද උත්සව කාලවලය. ‘‘කල දුටු කල වළ ඉහගන්නා’’ නරුමයන්ගේ නිර්දය  ප්‍රහාරයට මෙම උත්සව සමයේදී ද ජනයා ලක්වනු නොඅනුමානය.

අප පුවත්පත වාර්තා කළ පුවතකින් කියැවුණේ වෙළෙඳපොළේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් පවසන බවය. වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 420 දක්වා මිල ඉහළ ගැන ඇති බව ප්‍රවෘත්තියේ සඳහන් වන අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 350ක් පමණ වූ බවද එහි සඳහන්ය.

ලොකු ලූනු යනු එක් ද්‍රව්‍යයක් පමණි. සීනි කිලෝවේ සිට බිත්තරය දක්වා සෑම ආකාරයකම ආහාර ද්‍රව්‍යවල මිල ජනයා දිවන්ගත කරවීමට තරම් ගුවන් ගතය. එළවළු මිල අදහාගත නොහැකි තරමට සාමාන්‍ය ජනයාට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. අමු මිරිස්වල මිල අමු මිරිස් කරලේ තරමට නොවේ. දෙහිද එසේමය. පොල් මිල එලොව පොල් පෙන්වන තරම්ය.

දුරාතීතයේ අල්ලක් තරමට  මුදල් රැගෙන කඩ මණ්ඩියට ගිය ජනයාට මල්ලක් නොව මලු දෙක තුනක් පිරෙන්න ද්‍රව්‍ය රැගෙන ආ හැකි විය. එහෙත් වර්තමානයේ මල්ලක් පිරෙන්න මුදල් රැගෙන ගියද අල්ලක් පිරෙන්න බඩු ගෙන ආ නොහැකිය.

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට පවතින වැස්ස ද හේතු වී තිබේ. එක දිගට ඇද හැලුණ අනෝරා මහ වැසි වගාවට ඉතා බරපතළ ලෙස බලපෑවේය. එමෙන්ම උත්සව සමය නිසා ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. මේවා වෙළඳපොළ තුළ කළමනාකරණය කළ යුතු දේය. එහෙත් අවාසනාවකට එබඳු දියුණු යාන්ත්‍රණයක් අප රට තුළ නැත.

එළවළු, ලූනු ආදියෙහි මිල ඉහළ යාම එක අතකින් ගොවියාට හොඳය. එමෙන්ම සලකා බැලිය යුත්තේ මිල ඉහළ යාමේ වාසිය ගොවියාට ලැබී ඇද්ද යන්නය. විශේෂයෙන්ම හැමදාමත් අධික ලාබ ලැබුවේ අතරමැදියන්ය. ගොවියා  මෙන්ම පාරිභෝකයාද නිර්දය ලෙස සූරාකන්නෝ අතරමැදියෝ වෙති.

ගොවියා දෙස මෙන්ම බහුතරයක් වන පාරිභෝගික ජනයා දෙසද බැලිය යුතුය. මෙයින් බහුතරයක් ජනයා ස්ථාවර මාසික ආදායම් ලබන්නෝ වෙති. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ස්ථාවර ආදායම්ලාභීන්ට දරාගත නොහැකිය. ඔවුන්ට අමතර ආදායම් මාර්ග සොයාගත යුතු යැයි ප්‍රකාශ කළ හැකි වුවද ආර්ථික අර්බුදය හමුවේ එබඳු අතිරේක අදායම් මාර්ග සියල්ල හැකිලී ගොස් තිබේ. උත්සව සමය යන දෙවදන දවල් තරු පෙන්වන දෙවදනක් වන්නේ එම ජනයාටය.

අතරමැදියන්ගෙන් අනවරත සූරාකෑමට ලක්වන ගොවියාත් බහුතරයක් වන පාරිභෝගික ජනයාත් ආරක්ෂා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මේ මොහොතේ ජනයා බලධාරීන්ගෙන් අපේක්ෂා කරනුයේ එබඳු අහිංසක ඉල්ලීමක් පමණි.

(***)