මහ මැතිවරණය තීන්දු කළ දිනයට කලින් පවත්වන්නැයි ඇතැම් දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමෙන් ඉල්ලමින් තිබේ. එලෙස ඉල්ලීම් කරනුයේ ආණ්ඩුවට පක්ෂ දේශපාලනඥයන් වන අතර විපක්ෂයේ දේශපාලනඥයන් ඉල්ලා සිටින්නේ කොරෝනා නිසා මහ මැතිවරණය කල් දමන ලෙසය. එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශයක් කර නැත.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කළද ඒවා ගැසට් පත්‍රයේ පළ නොකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉකුත් දිනවල කනස්සල්ල පළ කළේය. සෞඛ්‍ය උපදෙස් රටේ නීතියක් වීමට නම් ඒවා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සෞඛ්‍ය උපදෙස් ගැසට් පත්‍රයේ පළ නොකිරීම ගැටලුවක් බවය. එසේ නොකරන්නේ නම් සෞඛ්‍යාරක්ෂිතව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි බවද දේශප්‍රිය කීවේය. කෙසේ වෙතත් ඉකුත් බදාදා මහනුවර ප්‍රදේශයේ ජනාධිපතිවරයා කීවේ සෞඛ්‍ය උපදෙස් මාලාව ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන බවය.
සෞඛ්‍ය උපදෙස් කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට බලපවත්වන නීතියක් තිබේ. ඒ නිරෝධායන පනතය. නිරෝධායන පනතට වැඩියමක් ලෙස සෞඛ්‍ය නීතිද ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතය. එසේ කළහොත් සෞඛ්‍ය නීති කඩ කරන්නන් නීතිය ඉදිරියේ වරදකරුවෝ වෙති. ඔවුන්ට දඬුවම් දීමට හෝ දඩ නියම කිරීමට හෝ එසේත් නැතිනම් ඒ දෙකම කිරීමට හෝ පොලිසියට බලය හිමිවේ.
කොරෝනා තර්ජනය හමුවේ වුවද දේශපාලන පක්ෂ හා අපේක්ෂකයෝ හැකි අයුරින් ඡන්ද ප්‍රචාරණයේ යෙදෙති. බොහෝ විට දක්නට ලැබෙන්නේ කුඩා රැස්වීම් හා ගෙන්ගෙට යාම වැනි ප්‍රචාරණ කටයුතුය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත්දා ප්‍රකාශ කළේ මහ මැතිවරණ රැස්වීම් දින කිහිපයකට නතර කරන බවය. අනෙක් දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැත. කොරෝනා තර්ජනය හමුවේ වුවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මහ මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පුන පුනා ප්‍රකාශ කරමින් සිටී.
මනාප පොරය හා එකිනෙකා පරයා මනාප ගොඩ වැඩිකර ගැනීමේ සටන් දැන් දැන් රට පුරාම දක්නට ලැබෙන්නේය. දකුණේ එක්තරා දිස්ත්‍රික්කයක එකම පක්ෂයේ අපේක්ෂකයෝ ඉතා සූක්ෂම ලෙස මනාප පොරයට එක්ව සිටිති. නවක අපේක්ෂකයකු අභිමවා මනාප ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ වචන හුවමාරු වන තත්ත්වයට පවා පත්ව තිබේ. එම මනාප පොරය සම්බන්ධ ගැටලුව ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයන් දක්වාම ගොස් ඇති අතර ඔවුන්ද ඒ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එම පක්ෂයේ අපේක්ෂකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂකයන් වාග්ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේ මහ මැතිවරණයට නාමයෝජනා දෙන්නටත් පෙර සිටය. ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගිවිසුමක් තිබෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකයෝ එම ගිවිසුම කඩ කරමින් සිටිනවා. නායකයන්ට කිව්වත් මේක නතරවී නැහැ. විශේෂයෙන් ප්‍රසන්න රණතුංගට සහ රොෂාන් රණසිංහට එරෙහිව අපි නීති පියවර ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස කිරීම. ගිවිසුම් කඩ කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන කරුණු යටතේ අපි එම අපේක්ෂකයන් එරෙහිව නඩු පවරනවා යැයි ශ්‍රීලනිප නායකයෝ පවසති.
මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාට සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇතිවී තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ වර්ණය නිල් බවත් දේශපාලන රැස්වීම්වලදී කොළ වර්ණය ප්‍රචාරය කරන බවටත් එම පක්ෂයට චෝදනා එල්ල වී තිබේ.
සමගි ජන බලවේයෙ පක්ෂයේ සළකුණ දුරකතනය වන නමුත් වර්ණය ගැන තවමත් පැහැදිලි කිරීමක් නැත. එක්සත් ජාතික පක්ෂය ඉකුත්දා ප්‍රකාශ කළේ දුරකතයෙන් තරග කරන අපේක්ෂකයන් කොළ වර්ණය පෙන්වමින් මැතිවරණ නීතිය උල්ලංගනය කරන බවය. ‘සමගි ජන බලවේගයේ පාට කොළපාට නොවෙයි. එක්සත් ජාතික පක්ෂයට අයිති පාට වෙනත් පක්ෂවලට ගන්න බැහැ. අපි ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළා යැයිද එක්සත් ජාතික පක්ෂ නායකයෝ පවසති. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගයට චෝදනා කරන්නේය. ‘‘සමගි ජන බලවේගය පක්ෂයේ පාට නිල් පාටලු. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාට. නිල්පාට ඒ අයට භාවිත කරන්න බැහැ. අපි අපේ පක්ෂයේ පාට කාටවත් දෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කළා’’ යැයි ද ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් පවසන්නේය.
රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනියගේ පුත්‍රයා මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන්නේය. ඔහු තරග කරන්නේ සජිත්ගේ පක්ෂයෙනි. එහෙත් රෝසි සේනානායක තවමත් එක්සත් ජාතික පක්ෂයේය. ‘‘අපේ අම්මා එක පක්ෂයක. මම තවත් පක්ෂයක. මම තෝරා ගත්තේ නිවැරැදි පක්ෂය’’ යැයි පුත්‍රයා කියන්නේය. ඔහු ඉකුත්දා හිතවතුන් පිරිසක් සමඟ තවත් රහසක් හෙළි කළේය. ‘අපේ අම්මා නගරාධිපති තනතුරේ කාලය නිමවීමත් සමඟ දේශපාලනයෙන් සමු ගන්නවා. එතුමිය දේශපාලනයේ ඉන්නේ තව අවුරුදු දෙකයි’ යැයිද කණිෂ්ක සේනානායක කීවේ ඔහු ඉදිරියේදී ද දේශපාලනය කරන බවද ප්‍රකාශ කරමිනි.
මේ දිනවල මහ මැතිවරණයේ තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ වී තිබේ. ඉකුත් සඳුදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ අතර එදින සෞඛ්‍ය සේවකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ. මෙවර තැපැල් ඡන්ද විමසීම සතියක් පුරාම සිදුවීම විශේෂත්යකි. කොරෝනා හේතුවෙන් තැපැල් ඡන්දදායකයන් පිරිසක්ද මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් සිටිති. ඒ නිසා ඔවුන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබේ. ඒ සඳහා විසඳුමක් සෙවීමට මැතිවරණ කොමිසම ඉකුත් දිනවල වෙහෙස ගත්තේය. කෙසේ වෙතත් අවසානයේ තීන්දු වූයේ ස්වයං නිරෝධායනය වෙන රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් ලවා ඡන්දය ප්‍රකාශ කරවා ගෙන ඒමටය. ඒ සඳහා ආරක්ෂිතව මැතිවරණ නිලධාරීන්ට නිවෙස්වලට යාමට සිදුව තිබේ. ‘ස්වයං නිරෝධායනය වෙන රාජ්‍ය නිලධාරීන්ගේ ඡන්ද පැකැට්ටු අපි ටික දවසක් යනතුරු වෙනම තියෙනවා. ඊට පස්සෙ තමයි ඒ ඒ දිස්ත්‍රික්කවලට ඒවා යවන්නෙ. අපට වෙන කරන්න දෙයක් නැහැ යැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කරන්නේය.
සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග කරන රිෂාඩ් බදියුදීන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රවි කරුණානායක ඉකුත්දා මැතිවරණ කොමිසමට පැමිණිලි කළහ. මැතිවරණ සමයේදී විවිධ කොමිෂන් සභාවලට කැඳවමින් තමන්ට අගතියක් කරන බවත් තමන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවත් සහ ඒවා නතර කරන්නැයි ඉල්ලමින් ඔවුහු මැතිවරණ කොමිසමට පැමිණිලි කළහ. මැතිවරණ කොමිසම ඔවුන්ගේ පැමිණිලි සලකා බලා අවශ්‍ය පියවර ගැනීම පිණිස පොලිස්පතිවරයා වෙත යවා තිබෙන බවද වාර්තාවේ.
මේ අතර මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් ඉකුත් බදාදා දිනයේදී ද පැවැත්විණි. මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් එහිදී කොමිසමේ අවධානය යොමුවී තිබිණි. සමගි ජන බලවේගය පක්ෂයේ පාට සම්බන්ධයෙන් කොමිසම තීන්දුවක්ද ගත්තේය. ‘‘මැතිවරණ කොමිසම නිල වශයෙන් පිළිගන්නේ දේශපාලන පක්ෂයේ නම සහ සලකුණ පමණයි. අපි පාට ගැන වගකියන්නේ නැහැ. ඒ නිසා අපි ඒ පැමිණිල්ල අහක දැමුවා. දැන් බලන්න රතුපාට පක්ෂ ගණනාවක් භාවිත කරනවා. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය වගේ පක්ෂ කීපයක් රතුපාට භාවිත කරනවා.’’ ඒ නිසා අපට ඔය පාට ප්‍රශ්නයට මැදිහත් වෙන්න අමාරුයි යැයි මැතිවරණ කොමිෂන් සභාව කියන්නේය.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර තවත් සාකච්ඡාවක්ද ලබන සතියේ පැවැත්වීමට නියමිතය. එහිදී සෞඛ්‍ය උපදෙස් අනුව මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය නීති පිළිපැදීම වැනි කරුණු කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ.
මහමැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු මස 5 වැනි දින පැවැති වුවද ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු නිමවන විට අගෝස්තු මස 15 වැනි දිනයවත් වනු ඇතැයි පැවසේ. මේ අතර මැතිවරණ කොමිසමේ නිල කාලය නිමවීමට ඇත්තේ මේ වසරේ නොවැම්බර් මාසයේදීය. මහ මැතිවරණයේ කටයුතු නිම වූ පසුව කොමිසමට ඉතිරි වන්නේ තවත් මාස තුනක වැනි කෙටි කාලයකි. එම කාලය තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උනන්දු කිරීමට කොමිසම අපේක්ෂා කරයි. කෙසේ නමුත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නැති බවට ද දේශපාලන විචාරකයෝ මත පළ කරති.
සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ කොළඹ තරු පංතියේ හෝටලයකදීය. ජනාධිපතිවරණය සමයේදී සජිත්ට මාධ්‍ය ආයතන ප්‍රධානීන් එක තැනකදී හමුවීමට අවස්ථාව නොලැබුණේ මහජන රැස්වීම්වලට වැඩි වේලාවක් වෙන් කර තිබූ නිසා යැයි ඔහු පසුව කීවේය.
‘‘මම මාධ්‍යවේන් සමඟ සමීපව වැඩ කරන කෙනෙක්. මම මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට සෘජුව කතා කරන කෙනෙක්.’’ සජිත් සංවිධාන කටයුතු අතරවාරයේ කීවේය.
සඳුදා උදෑසන සජිත් එම හෝටලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාව ආරම්භ කළේය. ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය හිටපු ඇමැතිවරයා ද ඊට සම්බන්ධ වූයේය.
‘‘මහ මැතිවරණයෙන් ජය ගෙන ඔබ අගමැතිධුරයට පත්වුවොත් ජනාධිපතිවරයා සමඟ වැඩ කරන්නේ කොහොමද?. මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඇසුවේය.’’ මට වැඩ කරන්න කිසිම ගැටලුවක් නැහැ. මම පොලිටික්ස් පර්සනලයිස් කරන්නේ නැතිව ප්‍රයිවෙටයිස් කරන්නේ නැතිව වැඩ කරනවා. මැති ඇමැතිවරුන්ගේ රහස් ගනුදෙනු ඩිල් නැතිව ජනතාව වෙනුවෙන් සේවය කරනවා.’’ සජිත් උත්තර දුන්නේය.
එහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ද අදහස් කීවේය. ‘‘19 වැනි සංශෝධනය ආරක්ෂා කරනවා. ශක්තිමත් කරනවා. අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරැදි කරනවා. 19 වැනි සංශෝධනයේ යම් යම් දේශපාලනික මතවාද බලපෑම් තුළ දකින අඩුපාඩු තමයි අපි නිවැරැදි කළ යුත්තේ’’ යැයි ද සජිත් කීවේය. ඉන් පසුව මාධ්‍ය ප්‍රධානීන් සමඟ බොහෝ වේලාවක් කතා බස් කරමින් සිටි සජිත් ප්‍රේමදාස වෙනත් කටයුත්තක් සඳහා පිටව ගියේය.
(*** කස්තුරි)