මිනිසුන් ජීවත්වන්නේ සිහින සමගිනි. එම සිහින යථාර්ථවාදී ද නැද්ද යන්න වෙනම කතාවකි. එහෙත් ජීවත්වීම සඳහා අවශ්‍ය හුස්ම සපයන්නේ සිහින මගිනි. තමන්ගේම වූ ඉඩමක්, ගෙයක් දොරක්, වාහනයක් හිමිකර ගැනීම එම සිහින අතර පෙරමුණේම වෙයි. එහෙත් ආර්ථික අර්බුදය හමුවේ මෙම සිහින කුඩුපට්ටම් වී ගොස් බොහෝ කලකි. වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවා ගැනීම ප්‍රධානම සිහිනය බවට පත්වී තිබේ.
‘ජීවිතය’ යනු තනි වචනයක් නොවේ. එමෙන්ම ‘ජීවත්වීම’ යනු වචන දෙකක්ද නොවේ.
මෙය තේරුම්ගත යුතුය. වද විඳ විඳ ළතැවිල්ලෙන් සිට මිය යාම ජීවත්වීම නොවේ. අසීමිත සිහින පුරවාගෙන ඒවා පසුපස හඹායාමද ජීවත්වීම නොවේ. එහෙත් ජීවත් වීමට අවශ්‍ය මූලික සම්පත් මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ නිර්බාධක පරිසරයක් පුරවැසියාට තිබිය යුතුය.
මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එය සිහින දකිමින් සිටින පුරවැසියන්ට එක් අතකින් ශුභාරංචියක්ම වනු ඇත.
මෝටර් රථ ආනයනය නතර කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදීය. ඒ නුදුරේ ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙනි. ඉදල-කොස්ස, පාපිස්ස, සරුංගලය පවා පිටරටින් ගෙන්වමින් ‘චූන්’ වූ රටට අවසානයේදී සිදුවූයේ වාහන ගෙන්වීමත් නතර කිරීමටය. නාන කාමර උපංග, ටයිල් ආදිය ආනයනය කිරීම නතර කිරීමටය. ගෙයක් දොරක් හදා ගැනීම සැබෑ නොවන නපුරු හීනයක් බවට පරිවර්තනය වූයේ එසේය.
විදේශයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ද්‍රව්‍ය සහ භාණ්ඩ නිෂ්පාදනය කර ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරමින් රටට ඩොලර් ගෙනා කර්මාන්තකරුවන්ට යන එනමං නැති විය. ආර්ථික අර්බුදය උග්‍රවීමට එයද තදින්ම බලපෑවේය.
අනතුර දැක එයට පිළියම් යෙදීම ඉතා නිවැරැදි ක්‍රියාවකි. එහෙත් හැමදාමත් එකම තැන රැඳී සිටිය යුතු නැත. අර්බුදය පියමං කරමින් අප ඉදිරියට යා යුතුය. මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කළ ප්‍රකාශය ශුභාරංචියක් වන්නේ ඒ අනුවය.
මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන පරිදි එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බවද එම සංගමය පවසයි.
මෝටර් රථ ආනයනය අත්හිටුවීමත් සමග දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් අහස උසට ඉහළ ගියේය. ඉහත තීරණය සමග වාහන මිල පහත බසිනු ඇත. එහෙත් අමතක නොකළ යුත්තේ වාහන ආනයනය නතර කළේ ඇයිද යන්නය. වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් විදේශ සංචිත ප්‍රමාණය අවම වීමෙන් අර්බුදය තවත් උග්‍රවිය හැකිය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්වනු ඇත.
(***)