ජනපති අතතියන්න වටින වැඩක්


(කාංචන කුමාර ආරියදාස)

තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා   සහ  පහ වසරේ ඉගෙන ගන්න  සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් වාර්තා විය.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට  අයත් බකමූණ ඇළහැර විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දුවාදරුවන්  ටකරන් කැබලි සෙවිලි කළ ඉටිරෙදි  වලින් ආවරණය කළ මඩුවක අධ්‍යාපනය ලබන බව දෙමාපියෝ පවසති.

වසර හතළිහකට වැඩි කාලයක සිට කිසිදු සංවර්ධනයකට ලක් නොකිරීමෙන් ගොඩනැගිලි අබලන්ව ගුරුවරු අහිමිව විදුහල්පතිවරයෙකු නොමැතිව ඉතා අපහසුතා මධ්‍යයේ දරුවන් අධ්‍යාපනය ලබන බව දෙමව්පියෝ දැනුම් දුන්හ.

එම පාසලට ගිය අවස්ථාවේදී මෙවර 5 වසර  ශිෂත්ව  විභාගයෙන් සමත් වූ දැරියක දැඩි  සංවේදීව හඬා වැටෙමින් තම විද්‍යාලයට සිදුව ඇති විපත පිළිබඳව සඳහන් කළාය.

පසුගිය දිනවල ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පාසල අබලන්ව ඇති ගොඩනැගිලි උල්දිය දැමීම හේතුවෙන් පන්ති කාමර රැසක් ජලයෙන් පිරී ගොස් පවතින බවත් නිරන්තරයෙන් ජලය ඉවත් කරමින් සිටින බවත් මව්පියෝ පවසති .

පහ වසර පන්තියේ පැවැත්වෙන කාමරයේ බිත්ති අතරින් විශාල වශයෙන් උල්දිය මතුවීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා මව්පියන් විසින්  විද්‍යාලය පිටුපස කැලෑබදව ස්ථානයක තිබුණු නැටුම් ඉගැන්වීම සඳහා වූ ස්ථානය ඔවුන්ගේ පංති කාමරය බවට පත් කර ඇත්තේ ඉටිරෙදි  වට කරමිනි.

මෙම පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී සහ දරුවන් පාසලෙන් පන්තියෙන් ඉවත් ව යන අවස්ථාවන්හිදී රිලවුන් රංචුවක් විසින් දරුවන්ගේ ආහාර බෑග් කෑම පෙට්ටි ටික පොත් පත්  රැගෙන යන බවද  වර්ෂාව ඇති අවස්තාවල දී සුළං පොදට තෙමෙන බව දරුවෝ හඬා වැටෙමින් කියන්නට වූහ.

මෙම දරුවන් තම විවේකයක් ලැබුණු විට තම පන්ති කාමරයේ වතුරේ   පොත්වල කොළ ඉරා බෝට්ටු පදවන  බවටද තොරතුරු අනාවරණය විය.

පාසලට විදුහල්පතිවරයෙකු නොමැතිව  කාලයක් ගතව තිබෙන බවත් නියෝජ්‍ය විදුහල්පති කඹරව විජිත රතන හිමියන් වැඩ බලන විදුහල්පති තනතුරු හොබවන උන්වහන්සේ කීහ .

වසර ගණනාවක සිට පවතින අඩුපාඩු පිළිබඳව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට අවධානය යොමු නොවුණු නිසා මෙයාකාරයෙන් තාවකාලිකව මඩුවක ඉගැන්වීම් කටයුතු සිදු කරන බව උන් වහන්සේ පැවසුහ .

පාසලේ දරුවන් මව්පියන් මෙන්ම ගුරු භවතුන් ද පෙන්වා දුන්නේ පවතින ගොඩනැගිලි වසර ගණනාවකට ඉහත දී ඉදිකළ ඒවා බවය එමෙන්ම මීට පෙර එක් ගොඩනැගිල්ලක වහලයක් කඩාවැටී විද්‍යාලයේ සිසුවියක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳවද පහ වසර පන්ති බාර ගුරුතුමිය දරුවන් ඉදිරියේ ම ප්‍රකාශ කළාය.

ගුරුවරුන්ගේ නේවාසිකාගාරයේ වහලය ද දිරාපත් වී කඩා වැටීමට ඔන්න මෙන්න පවතින බව මව්පියෝ කීහ.

විද්‍යාලයේ දරුවන් පන්සියයකට වඩා වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන බවත් එහි සංගීත කාමරය ක්‍රීඩා කාමරය නැටුම් කාමරය ආදී සියල්ල වැසි දිනයන්හිදී පමණක් නොව උල්දිය හේතුවෙන් තනිකරම ජලයෙන් පිරී ඉතිරී යන බවද සිසු සිසුවියෝ පෙන්වා දුන්හ.

මෙම පාසල පිහිටා ඇත්තේ මොරගහකන්ද ජලාශයට කිලෝ මීටර් කිහිපයක් ආසන්නයේය .මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් නිරීක්ෂණ කටයුතු සඳහා ජනාධිපති ආරක්ෂක  අංශ පැමිණෙද්දී තම විද්‍යාලයේ ගොඩනැගිලි ඔවුන්ගේ නවාතැන් බවට පත්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිරන්තරයෙන් එම විද්‍යාලයේ  රැස්වීම සදහා පැමිණ ඇති බවද මේ සියල්ල පැමිණෙන සැම අවස්ථාවකම දැන්වූ බව මව්පියෝ කියති

ඇලහැර විද්‍යාලයේ ඇති අඩුපාඩු පිළිබඳව වර්තමාන ජනපතිවරයාගේ හා අධ්‍යාපන ඇමතිවරයාගේ  අවධාරණය යොමු කරන ලෙසත් විශේෂ ද මෙම දරුවන්ට ධ්‍යාපනය කටයුතු සිදුකිරීම සඳහා කඩිනමින් කාමරයක් තනා දෙන්නැයි  මව්පියෝ ඉල්ලා  සිටිති.