![]() |
කතිකාව ශාලාවට අවට සුන්දරත්වය පෙනෙන අයුරු... |
ඉකුත්දා ලංකාවට පැමිණි ජපන් රජකුමරිය මහනුවර ඇසළ පෙරහර බැලීමටද ගියාය. ඒ ගමනේදී ඇය නතරව සිටි ස්ථාන අතර කණ්ඩලම හෝටලයද වෙයි. ජපන් කුමරිය කණ්ඩලම හෝටලයේ නැවතී සිටියේ රෝයල් ස්වීට් නම්වූ සුපිරි රාජකීය කාමරයේය.
විවිධ වර්ගීකරණයන්ට අනුව වෙන්වූ කාමර එකසිය පනස් ගණනකට වඩා ඇති කණ්ඩලම හෝටලය සතු අති සුවිශේෂ කාමරය වන්නේද මෙම රාජකීය කාමරයයි. මෙරට මෙන්ම එතෙරින් මෙහි පැමිණෙන ප‍්‍රභූන් සඳහාම විශේෂයෙන් වෙන්කරවා ගත හැකි සුපිරි ස්ථානය ලෙස මෙය සඳහන් කළ හැකිය. පස්වැනි මහලේ තනා ඇති මෙය පුංචි මන්දිරයකට හෝ මාලිගයකට සමකළ හැකිය. සීගිරි අන්තය එක් පසෙකට දර්ශනය වන අතර, දඹුල්ල අන්තය අනෙක් පසට දර්ශනය වන අයුරින් සහ කණ්ඩලම වැව මෙන්ම අවට පරිසරය දර්ශනය වන ලෙස මෙම රාජකීය කාමරය තනා ඇත. නාන කාමර දෙකකින්ද යුතු මෙහි එක් අන්තයක නාන කාමරය සඳහා සීගිරි අන්තය දර්ශනය වේ. අනෙක් අන්තයේ ඇති නාන කාමරයට දඹුල්ල අන්තය දර්ශනය වේ.
ඉපැරණි රාජකීය මන්දිරයකදී දැකගත හැකිවූ අයුරින් රාත‍්‍රිය ඉටි පහන් ආලෝකයෙන් ආලෝකවත් කෙරේ. ඒ රාජකීය ආලෝකය විදුලි පහන් ආලෝකයට වඩා ගරු ගාම්භීරය. රාජකීය අමුත්තන් භෝජන සංග‍්‍රහයේ යෙදෙමින්, කතිකාවේ යෙදෙමින් රාත‍්‍රියේදී අවට පරිසරයේ හැඩ බැලීමටද රිසි බව කිව හැකිය. මෙලෙසින් වෙන්වූ මෙම රාජකීය කාමරය වෙන්ව ඇත්තේ ප‍්‍රභූන්ටම පමණක් නොවන අතර රාජකීය අයුරින් මධුසමය ගත කිරීමට මෙන්ම රාජකීය රාත‍්‍රියක පහස රිසිසේ විඳගැනීමට කැමති යුවළකට ලැබුණු මහාර්ඝ අවස්ථාවක් ලෙසද සඳහන් කළ හැකිය. මෙහි පැමිණෙන අමුත්තන්ට සම්මන්ත‍්‍රණවලට සහභාගි විය හැකි අලංකාර සම්මන්ත‍්‍රණ ශාලාවක්ද අලූතින්ම තනා තිබේ. එය නම්කර ඇත්තේ කතිකාව නමිනි.
”කතිකාව” තනා ඇත්තේ කණ්ඩලම හෝටලයේ 6 වැනි මහලේය. එතැනට මෙහි පිවිසීම සඳහා වෙනමම පිවිසුම් ස්ථානයක් ඇත. එම පිවිසුම් ස්ථානයේ සිට ආ පසු බිම් මහලේ තනා ඇති කල්පනා, කිරුල, කිනිත්ත සහ කරඳ යන කාමර දැකගත හැකිය. ඒවා නවාතැන් පහසුව සඳහා තැනූ කුටි නොවේ. කතිකාවේ සම්මන්ත‍්‍රණ සඳහා පැමිණෙන අමුත්තන්ගේ පහසුව සඳහා තැනූ ඒවාය. ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක් නම්, එය පැවැත්වීමට පෙර සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධානීන්ට පෙර සූදානමක් වීමට මෙන්ම පුද්ගලික වශයෙන් සාකච්ඡුා පැවැත්වීමට සහ විධායක මට්ටමේ සමුළුව සඳහා ඒවා කදිම ස්ථානය. කල්පනා කුටියට වී සම්මන්ත‍්‍රණය හෝ කතිකාවේ පැවැත්වෙන දේ ගැන කල්පනාවේ යෙදී සිටින අතරේ ඕනෑ නම්, මෙම යාබද භූමියේ ඇති කිරුල, කරඳ ආදී වෘක්ෂයන්ගේ හරිත පහස ලැබිය හැකිය.