තාමත් ජෝති


(*** ප්‍රියන්ත කොඩිප්පිලි)

ජෝතිපාලගේ තිස්තුන් වෙනි සැමරුම තිබුණෙ මීට දවස් දෙක තුනකට උඩදී. ජූලි හතයි කියලා මතක් වෙද්දි ජොතිව මතක් වෙනවා. අවුරුදු තිස්තුනක් ගිහිල්ලත් තාමත් ජෝතිම තමයි. ජෝති ගැන කතා කරන අය මේ සැරෙත් පෙළ ගැහිලා තිබුණා දැක්ක සුපුරුදු පරිදි, ජෝති සැමරුම් තියල හැමදාම කරන සෙල්ලම් ටික තමයි.

ජෝති ජීවත් වෙලා ඉන්නකොට කට ඇරපු නැති කට්ටිය දැන් මීඩියාවලට පෙරළගෙන ඇවිත් දෙන නැව් ටෝක් තමයි බලන්න අපූරු. ඒ අතරෙ තවත් සමහරු ජෝතිගෙ පහනින් බැබලෙන්න හදන හැටි දැක්කම තවත් සංතෝසයි. පුදුම මිනිස්සු තමයි අපේ රටේ නම් ඉන්නේ.

දැන් දශක තුනක් තිස්සේ ජෝති සමරනවා කියලා හැමෝම කෙරුවේ එක්කො ජෝතිගෙ සිංදු කට්ටියක් ලව්වා කියවන එක. එහෙමත් නැත්නම් ජෝති දන්නව කියලා කියන කීප දෙනෙක් පෙන්නල ටී.වී, රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරන එක. ජෝතිව සොයා යෑම තාමත් කවුරුවත් කරන්න උත්සාහ අරන් නෑ. ඒ වෙනුවට ජෝති කාපු බීපු හැටි ඇඳපු හැටි ගමන් බිමන් ගියපු හැටි, සංදර්ශනවලට ගත්තු සල්ලි තව කෙනෙකුට දීපු හැටි වගේ කාරණා. මේවා තව අවුරුදු තිහක් වුණත් මේ සෙට් එක තලු මරාවි. ඒත් ඒකෙන් ජෝතිටවත් අපිටවත් රටටවත් වැඩක් නෑ. ජෝතිපාලව දැන්වත් හරියට ‘රීඩ්’ කරන්න කවුරුහරි මුල පුරනව නම් ඒක තමයි ජෝති වෙනුවෙන් කරන වැඩේ. ඒක කරන්න බෑ ජෝති බැතිමතුන්ට. ජෝති පිළිබඳ භක්තිවන්ත උදවිය අවුරුද්දකට වතාවක් ජෝතිගෙ පිළිරුව හෝදල සුවඳ දුම් අල්ලනවා. ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ වාද විවාද කරලා හාර අවුස්සලා කඩල බිඳලා ජෝතිව කියවන්න උත්සාහ කරමු කියලා.

ජෝතිපාල වගේ වෙන්න හදන පොඩි ජෝතිලත් අපි දකිනවා. මීඩියා චැනල්වලටත් මේ පොඩි ජෝතිලා තමයි දැන් ලොකු වෙලා තියෙන්නේ. මේ පොඩි ජෝතිලා ලොකු ජෝතිගෙ සිංදු කියන්න දඟලන දැඟලිල්ල දැක්කම හිනා යනවා. ලොකු ජෝතිගෙ සිංදු අහපු අපිට පොඩි පොඩි සිප්පි කෑලි මොකටද? ඕන කෙනෙකුට ජෝතිගෙ සිංදු කියන්න රසවිඳින්න පුළුවන්. ඒත් ඒවා තමන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරලා මීඩියාවලට රිංගගෙන විකෘති කරන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

ජෝති ගැන සැමරුම් තියලා කරන සමහර වැඩසටහන්වලට ගෙන්නන අය දැන් අවුරුදු තිස් තුනක් තිස්සෙ කියන්නෙ එකම කතාව. ජෝති එක්ක කාපු බීපු, ජෝති එක්ක ගමන් බිමන් ගියපු, ජෝති එක්ක මාළිගාවත්තෙ ගැවසුණු, ජෝති එක්ක පිස්සු නටපු ඕන තරම් අය ඇති.

අවුරුදු තිහකට වැඩි කාලයක් ඔය තැටිය ගැහුව මදි ද දැන්. ජෝතිපාල ඇඳගෙන ඉඳපු ඇඳුම ගලෝල ජෝති හම්බවෙන්න ආපු කෙනෙකුට දුන්නා කියන එක නෙවෙයි ජෝතිපාල ගායකයෙක් විදියට මේ තරම් පොරක් වෙන්න හේතුව. ඒත් අදටත් ජෝති ගැන කතා කරන වැඩසටහන්වල කතා වෙන්නෙ මේ වගේ ඕපදූප තමයි වැඩිපුර. මේ වැඩසටහන්වලට වෙනස් අදහස් ඇති තරුණ පරම්පරාව වැද්ද ගන්නෙ නැත්තේ එතකොට අර ඕපදූප ටික තලු මරන්න බැරිවෙන නිසා වෙන්න ඇති. මේක ජෝති සමරු ප්‍රසංග වැඩසටහන් සියල්ලටම අදාළයි. එකක දෙකක නෙවෙයි බොහෝ තැන්වල බහුල වශයෙන් කෙරෙන්නේ මේ දේ තමයි.

අපි මීට පෙරත් කියල තියෙනවා මේ වගේ අයට හරියට අයිතිකාරයො ඉන්නවා කියලා. විශේෂයෙන් ජෝතිපාල, විජය කුමාරතුංග වගේ අයට. මේ අයිතිකාරයෝ හිතාගෙන ඉන්නෙ ඒ අයට විතරයි විජයලා ජෝතිලා ගැන කතා කරන්න පේට්න්ට් එක තියෙන්නේ කියලා. වෙන කෙනෙක් මේ අය ගැන මොකක් හරි කිව්වම රෙදි උස්සගෙන ඉන්නෙ. මෙහෙම රෙදි කරට අරගෙන එන බොහෝ දෙනා ජෝතිලට විජයලට ආවතේව කරපු අන්තේවාසික වාටියෙ පොරවල්. ඇත්ත විජය ප්‍රේමියෙක් නම් ඇත්ත ජෝති ප්‍රේමියෙක් නම් ඒ අයගෙ ප්‍රභාව තව තවත් විමර්ශනයට ලක් වෙනවට කැමති වෙන්න ඕන. ඒත් මේ බොරු භක්තිවන්ත අයිතිකාරයො ඒකට කැමති නෑ.

මොකද එහෙම වුණොත් ඒ අයගෙ මේ බොරුව තවදුරටත් නඩත්තු කරන්න බැරි වෙනවා. එතකොට ඒ අයගෙ ආතල් කැඩෙනවා. අපේ යෝජනාව ජෝතිපාලලගෙ විජය කුමාරතුංගලගෙ මේ බොරු අන්ධ භක්තිකයන්ගේ ආතල් කඩල දාලා මේ අය ගැන විෂයානුබද්ධව දියුණු කියවීමකට මුල පුරමු කියන එක.