දුප්පත්කමින් යුතුකම් අයුතුකම් අමතකවීම


දින හතේ වයසැති පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු මුදලට විකිණු සිද්ධියක් පසුගියදා අපගේ ලංකාදීපය සිය මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් මගින් අනාවරණය කර තිබිණි. එක් දරුවකු රුපියල් විසිපන්දහකට මිල නියම කර තිබූ බවද මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම ප්‍රවෘත්තියේ සඳහන් විය.

දරුවන් විකුණන මේ ආකාරයේ සිදුවීම් නගරයෙන් ඈත පිටිසර ගම්මානවලින් වරින් වර  වාර්තා විය. ගමේ ආර්ථිකයේ හැලහැප්පීම් මැද අන්ත දිළිඳු බවට පත්වන ඇතැම් මවුවරුන්ගේ අවසන් ‘‘විකිණීම’’ තම කුසෙන් වැදූ දරුවා බවට පත්වීම සැබෑ ඛේදවාචකයකි. එහෙත් ඉහත කී තම නිවුන් දරුවන් දෙදෙනා රුපියල් පනස් දහසකට විකිණීමේ සිද්ධිය වාර්තා වෙන්නේ ඈත ගම් ප්‍රදේශයකින් නොවේ. කොළඹට ඉතා ආසන්න ප්‍රධාන නගරයක් වන පිළියන්දල ප්‍රදේශයෙනි. එක දරුවකු මුදලට ලබාගත් බව කියන කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව     ඇත්තේ රාගම ප්‍රදේශයෙනි. අනෙක් දරුවා කැලණිය ප්‍රදේශයට විකුණා තිබූ බව ද සඳහන්ය. තම කුසෙන් උපන් දරුවා විකුණාගෙන ජීවිතය හැඩ ගසා ගැනීම දක්වා වන ආර්ථික පීඩනය නගරය දක්වා දැන් ව්‍යාප්ත වෙමින් පවතින බවට මෙය හොඳම උදාහරණයකි.

මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා සහ දරුවන්ගේ මව අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. එහෙත් මේ කාන්තාවන් පොලිස් අත්අඩංගුවට පත්වීමත් ඔවුන්ට එරෙහිව  අධිකරණ  ක්‍රියාමාර්ග ගැනීමත් මේ ගැටලුවට විසඳුමක් නොවන බව පෙන්වා දිය යුතුය. මූලික ගැටලුව මෙරට කාන්තාවන් සහ බිළිඳු දරුවන් ආර්ථික අර්බුදයේ ගොදුරු  බවට පත්වෙමින්  සිටීමය. නීතිය අනුව දඬුවම් දිය හැකි වරදක් සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ද වැළැක්විය නොහැක. එහෙත් ප්‍රශ්නය එතැනින් නතර නොවේ.

අපගේ රටේ නීතියට අනුව දරුවන් හදා වඩා ගැනීම සඳහා වෙනත් මවුපියන් යුවළකට නීත්‍යානුකූලව බාරදිය හැකි ක්‍රමවේදයක් තිබේ. එහෙත් එවැනි අවශ්‍යතාවක් තිබෙන මවුවරුන්ට ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ උපදෙස් ලබාදීමත් සිදු නොවන තරම්ය. මෙයට හේතුවක් වන්නේ දිළිඳුකමට අමතරව නූගත්කමද මෙවැනි සිදුවීම්වලට මවුවරුන් පෙළඹවීමය. රටම  වෙළාගත් දිළිඳුකමේ ගොදුරු බවට මෙවැනි මවුවරු පහසුවෙන්ම පත්වෙති.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී මෙවර අයවැයෙන් කාන්තා ළමා කටයුතු සහ සමාජ බලගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් සියයට 51 ක් කපා දමා ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කළාය. මේ කපා හැරීම සම්බන්ධයෙන් රජයේ පිළිතුර වී තිබුණේ එයට එරෙහිව  කාන්තා සංවිධාන මගින් ක්‍රියාත්මක  කළ සාමකාමී විරෝධයට පොලීසිය ලවා ජල ප්‍රහාර එල්ල කිරීමය. එවැනි ක්‍රියාවලින් මේ රටේ කාන්තාවන් හා ළමයින් මුහුණ දී සිටින දැඩි ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරක් නොලැබෙන බවත් සිදුවන්නේ ඒ ගැටලු සංකීර්ණ සමාජ අර්බුදයකට රට  තල්ලු කිරීමක් බවත් බලධාරීන් තේරුම් ගත යුතුය.

මේ රටේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ ගැටලු විසඳා  දීමට ප්‍රමාණවත් තරම් දේශපාලන  උනන්දුවක් නැත. මැතිවරණ කාල සීමාවලදී  නම් කාන්තාවන් සහ ළමයින් මුහුණ  දෙන දුක් පීඩාත් ඔවුන්ට සමාජය තුළත් දේශපාලනය තුළත් දැනට වඩා වැඩි ඉඩක් අසන්නට ලැබේ. මැතිවරණ  උණුසුම නිවී යත්ම කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ හඬ නැඟීම්ද යටපත් වෙයි.

තමන්ගේ නිවුන් දරු දෙදෙනා මුදලට විකිණීමට තරම් මවක් අසරණවීම පෙන්වා දෙන්නේ මේ ගැටලුවලට දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය බවය. එයට දේශපාලනය ඈඳා ගැනීමෙන් පලක් නැත. මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට 51 ක් නියෝජනය කරන කාන්තාවන්ගේ සැබෑ ගැටලු සඳහා  විසඳුම් ලබාදීම යුගයේ අවශ්‍යතාවක් බව පෙන්වා දිය යුතුය.

(***)