නවගත්තේගම දොඩම් වගාකරුවෝ අතරමං


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නිසි මිලක් නොමැතිකමින් නවගත්තේගම මහ අන්දරවැව දොඩම් වගාකරුවෝ අන්ත අසරණ වී සිටිති. 


නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් වසමට අයත් මහ අන්දරවැව ගම්මානයේ පවුල් 100කට ආසන්න ප්‍රමාණයක් තම ජීවිකාව සරිකර ගැනීමේ අරමුණින් දොඩම් වගාව අරඹා තිබුණද එය මේ වනවිට සිහිනයක් බව ඔවුහු පවසති.


මෙහිදී වගාකරුවන් අතරින් පළමුව අදහස් දැක් වූ මහ අන්දරවැව ඊ. එම්. ගුණරත්න බණ්ඩා පැවසූවේ මෙවැන්නකි.


‘අපේ දොඩම්වලට නියම මිලක් නොමැති නිසා අපි පුදුම විදියට අසරණ වී සිටිනවා. මහ අන්දරවැව දොඩම්වලට නියම ගැනුම්කරුවකු නොමැති නිසා මිලදී ගන්න එන ගැනුම්කරුවන් අපිට දෙන්නේ අඩුම මිලක්. හොඳ ගැනුම්කරුවකු ආවොත් ස්ථාවර සාධාරණ මිලක් ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා’ යැයි ඔහු පවසයි.


දොඩම් වගාකිරීමේ යෙදී සිටින චම්පා දිල්හානි මහත්මිය මෙසේ පැවසුවාය.


‘අපි දොඩම් වගාව සඳහා විශාල වියදමක් දරනවා. මේ පළාතේ පවතින නියගයට ඔරොත්තු දෙන ආකාරයට දිවුල් ගසට දොඩම් ගස බද්ධ කරලායි වගා කරන්නේ. නමුත් රසයේ කිසි අඩුවක් නැහැ. ඵලදාවත් හොඳ මට්ටමක තියෙනවා. ඇතැම් කාලවලදී දොඩම් ගෙඩි ගස් යට කුණු වී යනවා. ඒ තරමට අපේ දොඩම් අස්වැන්නට නිසි මිලක් නැති වෙලා’ යැයි ද ඇය පවසයි.


දොඩම් වගාකරුවකු සහ දොඩම් වෙළදාම් කරන්නෙකු වන ආර්.එම්. ඩිංගිරි බණ්ඩා මහතා දොඩම් තොගයක් අලෙවි කිරීමට රැගෙන යන අතරතුරදී මෙසේ පැවසීය. 


‘නවගත්තේගම මහ අන්දරවැව කියන්නේ දොඩම් වගාවට හොඳ ගම්මානයක්. මේ ගම්මානයේ පවුල් 100ක් විතර දොඩම් වගාකරනවා.  අක්කරවලින් කිව්වොත් 100කට වැඩිය වගා කරනවා. ඒ තරමට සාර්ථක අන්දමින් දොඩම් වගා කරනවා. නමුත් ඒ සඳහා වෙළඳපොළක් නැහැ. මම දොඩම් වගා කරනවා වගේම අලෙවි කටයුතුත් සිදු කරනවා.  ඇතැම් කාලවලදී අපේ දොඩම් මිලදී ගන්න කිසිම පුද්ගලයෙකු එන්නේ නැහැ. නමුත් පිටරටින් එන දොඩම් වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. ඒ දොඩම්වල තියෙන රසායනික ද්‍රව්‍ය ගැන අපේ මිනිසුන්ට කිසි තැකීමක් නැහැ. පොත්තටයි රහටයි වහවැටිලා වහ කනවා’ යි ඔහු පැවසීය.