‘‘ලන්ච් ෂීට් තහනම්, විකල්ප සොයන්න හය මසක්” යනුවෙන් පුවතක් පසුගිය දිනෙක අප පුවත්පතේ පළ වූයේය. මීට පෙර කී වතාවක් ලන්ච් ෂීට් තහනම් කළේ දැයි අසන්නට අයකුට සිත් දේ නම් එය අරුමයක් නොවේ. එසේ විමසීම අතිශය සාධාරණය. මීට පෙර ලන්ච් ෂීට් වලට යොදාගන්නා පොලිතීන් වර්ගය තහනම් කළ අවස්ථා හතරක් පිළිබඳ තොරතුරු වැඩි ආයාසයකින් තොරව සොයාගත හැකිවේ.
මින් පෙර 2006 ඔක්තෝබර් 10 වැනිදා 1980 අංක 47 දරන ජාතික පරිසර පනත අනුව පොලිතින් තහනමක් පැනවූ බව වාර්තා වේ. ඉන් අනතුරුව 2016 ජනවාරි 1 වැනිදා සිට මයික්‍රෝණ විස්සට අඩු පොලිතින් තහනමක් පැනවූ බවද වාර්තා වේ. 2017 සැප්තැම්බර් 1වැනිදා සිට පොලිතින් නිෂ්පාදනය හා අලෙවිය අදියර තුනක් යටතේ තහනම් කිරීමට යෝජනා වී තිබිණි. ඒ අනුව සියලුම උත්සවවලදී පොලිතින් තහනම් කිරීමටත් මයික්‍රෝණ විස්ස හා විස්සට අඩු පොලිතින් අලෙවිය තහනම් කිරීමටත්, මයික්‍රෝණ විස්සට අඩු පොලිතින් නිෂ්පාදනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බවටත්, ලන්ච් ෂීට් විකිණීමට ආනයනයට හා නිෂ්පාදනයට තහන්චි පැනවීමටත් තීරණය කළේය. ඉන් අනතුරුව 2021 මාර්තු 31වැනිදා සිට එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් හා මයික්‍රෝණ විස්සට අඩු ලන්ච්ෂීට් හා සැෂේ පැකට් පරිසර අමාත්‍යංශය විසින් තහනම් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.
මෙවර පැනවීමට නියමිත පොලිතින් තහනමත් පුස්සක් බවට පත්වීමට ඇති ඉඩකඩ බොහෝය. ලන්ච් ෂීට් ඇතුළු පොලිතින් භාවිතය මෙරට තනි රාජ්‍ය නියෝගයකින් ප්‍රායෝගිකව තහනම් කළ නොහැකි තරමට භාවිතය ඉහළ ගොස් තිබීම ඊට එක් හේතුවකි. එම පොලිතින් භාවිතාවට විකල්ප යෝජනා කොට ක්‍රියාත්මක කිරීමකින් තොරව තනි නියෝගයකින් සාර්ථක ලෙස ප්‍රායෝගිකව ලන්ච් ෂීට් තහනම ක්‍රියාත්මක කළ හැකි බවක් නොපෙනේ.
කැලණිය විශ්ව විද්‍යාලය, මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව කළ සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ දිනකට භාවිතා වන ලන්ච් ෂීට් ප්‍රමාණය මිලියන 15ක් පමණ වේ. දිනකට ඉවතලන පොලිතින් බෑග් ප්‍රමාණය මිලියන 20-22 අතර පවතී. මසකට යෝගට් කෝප්ප මිලියන 20ක් පමණ භාවිතා වේ. මෙවර ලන්ච් ෂීට් තහනමට පෙර, විකල්ප පිළිබඳ සොයා බැලීමට හය මසක් ගත කිරීම අතිශය නුවණට හුරු ක්‍රියාවකි. විකල්ප යෝජනා නොකොට නැවත පනවන තහනම පුස්සක් බවට පත්වනවා පමණක් නොව, එසේ වුවහොත් පොදු ජනයා රජයේ නියෝග නොසලකා හැරීම පුරුද්දක් බවට පත්කර ගැනීමට ද ඉඩ තිබේ. වසරකට මෙරටට ආනයනය කරන පොලිතින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් ලක්ෂ පහක් පමණ වන අතර, එයින් සියයට 70 ක් පමණ දේශීය වශයෙන් භාවිතයට ගැනේ. ආනයනික මුළු පොලිතින් වලින් සියයට 30ක් පමණ අපනයන ඇසුරුම් උදෙසා මෙරට භාවිතා කරන නිසා අවිචාරයෙන් පනවන පොලිතින් තහනමක් මෙරට අපනයන ඉපැයුම්වලටද බලපෑමට ඉඩ තිබේ.
පමණ ඉක්මවා සිදුවන පොලිතින් භාවිතය හැකි ඉක්මනින් අවම කළ යුතු බවට විවාදයක් නැත. ඒ සඳහා සාර්ථක ක්‍රියාමාර්ග ගත යුතුය. පොලිතින් භාවිතය වැළැක්වීම සඳහා වන නීති නොසලකා හැරීමට ලක් කොට මොට කර දැමිය යුතුද නැත.
අසීමිත ලෙස භාවිතා වන පොලිතින් කරණ කොටගෙන මෙරට පරිසර පද්ධතියට සිදුවන හානි බොහෝය. පරිසර පද්ධතියට සිදුවන එම හානි වලින් මෙරට, පාංශු පද්ධතිය ඇතුළු කෘෂිකර්මාන්තයට, මෙරට ජනතාවගේ සෞඛ්‍යයට, භූගත ජල සංසරණයට, සංචාරක කර්මාන්තය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් වලට බොහෝ සෙයින් අහිතකර බලපෑම් ඇතිවෙයි. ඒ සියලු අහිතකර බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස වාස භූමියක් ලෙස අපේ රටට ඇති උචිතභාවය හීන වී යයි.
(***)