විදේශය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගැන විවිධ කාලයන්හිදී විවිධ කතා අසන්නට ලැබේ. අදටත් වටින් ගොඩින් එවැනි කතා ඇසේ. ඛේදවාචක, අඳෝනා, දූෂණ, ගසා කෑම, ඥාති සංග‍්‍රහය , ආයුධ වෙළඳාම, අකාර්යක්ෂමතාවය ඉහත කතා වලට මාතෘකා අතර වෙයි. මෙම මාතෘකා යටතේ බොහෝ විස්මිත කතා ඇසීමට දැකීමට පසුගිය වකවානුවේ බොහෝ අවස්ථාවන් ලැබුණේය.
ඒ අතරින් මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉදිරි පෙළ ස්ථාන හිමිකර ගන්නා විට යුරෝපයේ හා වෙනත් මහද්වීපයන්හී පිහිටි එම කාර්යාල පසු පෙළ හිමිකරුවන් වෙමින් මහජනයාට විහිළු සපයන ස්ථානයක් බවට පත්වීම අභාග්‍යයකියි ඒ රටවල ලාංකිකයෝ කියති.
ඒ ඒ රටවල ශ්‍රී ලාංකිකයෝ සංවිධාන ගත වෙමින් තම අයිතිය දිනා ගැනීම සඳහා සටන් වදිති. විවිධ සටන් පාඨ ඇතුළත් උද්ඝෝෂණ, සංදේශ, පෙත්සම්, සාකච්ඡා ආදි ලෙස විවිධ ක‍්‍රියා මාර්ග භාවිතා කරමින් එම ඉල්ලීම් දිනා ගැනීමට වෙහෙසෙති.
ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන සංවිධානද ඒ අතරට එක්වේ. ජනයා කුල්මත් කරවන නොයෙක් සටන් පාඨ පෙරමුණේ තබමින් ඉල්ලීම් දිනා ගැනීමට ඔවුහූ වෙහෙසෙති. එවැනි අවස්ථා බොහෝ විට දකින්නට ලැබෙන්නේය.
මෙවැනි පරිසරයක පසුගිය ජනාධිපතිවරණයේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදි යහපත් සාධාරණ සමාජයක් ගොඩ නැගීම අරමුණු කොට විවිධ දේශපාලන පක්ෂ ශාඛා, නිදහස් මතධාරීන්, සමාජ ක‍්‍රියාකාරීන්ගේ එකතුවෙන් පැරීසියේ බිහිවූ පැරිස් එකමුතුව විසින් ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ට සෘජුව බලපාන පොදු ප‍්‍රශ්න රැසක් ඇතුළත් සංදේශයක් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිට භාර දුන්නේය. අනතුරුව ජනාධිපති, අගමැති, අදාල ඇමැතිවරු, යනුවෙන් ද සංදේශයේ අනු පිටපත් භාර දුන්නේය. එම සංදේශයට ඇතුළත් කරුණු අතර ශ්‍රී ලාංකිකයන්ට හිමි ගුවන් ගමන් බලපත‍්‍ර හෙවත් පාස් ෆෝට් ලබා ගැනීම, විදේශයේ උපත ලබන දරුවන් ලියා පදිංචි කිරීම විශේෂ වූයේය. පාස්ෆෝට් හා උප්පැන්න ලියා පදිංචිය සිදුවන ක‍්‍රියාවලියේ බොහෝ ගැටලූ ඇත්තේය. මේ හේතු කොට අෙ\ානාව, වෛරය, ඉවසීම, රැවීම, බැනීම අල්ලස් ගැන මැසිවිලි නගයි.
කෙසේ නමුදු ඉහත කරුණු බොහෝ කලක සිට කරන ඉල්ලීම් වුවද, විසදුමක් නොලැබී ”කොකා විල හිදෙන තුරු බලා සිටිය වගේ ” කල් ගතවු හෙයින් පැරිස් එකමුතුව මෙවරද එම ඉල්ලීම් සඳහා උනන්දු වුයේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා පැරිස් එකමුතුවට පසුගියදා ලිපියක් එවීය.
එය වේගවත් කිරීමට අවශ්‍යය නීතිමය පියවරයන් හා උපදෙස් බලාපොරොත්තුවෙන් ජනාධිපති ලේකම්, විදේශ ඇමති, ආගමන විගමන පාලක වෙතද එම විසඳුම් ඉදිරිපත් කොට ඇත්තේය. කෙසේ නමුදු එය යහපත් පියවරකි. නීත්‍යනුකූලව බුද්ධිමත් මානුෂික තීන්දු තීරණ ලබා ගැනීම එහි අරමුණවේ. ප‍්‍රතිපල සතුටු දායක නම් ඊට අනුකූලව අවශ්‍යය මූලික සුදුසුකම් සපුරාලන ශ්‍රී ලාංකිකයනට එම සේවා නිසි පරිදි ඉටුකර දීමට හැකි වන බවත් එය එලෙස සිදු කිරීමට පොරොන්දු වන බවත් තානාපති පැරිස් එකමුතුවේ නිලධාරීන්ට පැවසීය.
පැරීසියේ බොහෝ එකමුතු කම්මුතු වූ අයුරු පසුගිය අතීතය ආවර්ජනයෙන් සොයා ගත හැක. පැරිස් එකමුතුවේද විවිධ ඉරි තැලීම් නැතුවාද නොවේ.
”සියලූ මුතු ගජමුතු පරයයි එකමුතුවට”එසේ වුවොත් ප‍්‍රතිඵලයන්ද සුබ දායකවේ. එම අභියෝගය පැරිස් එකමුතුවට ඇත්තේය.