නුගේගොඩ පිරිසක් කතරගම පැමිණියේ පාසල් නිවාඩුවෙන් ප්‍රයෝජනයට ගනිමිනි.
වර්ෂයකට වරක් කතරගම පැමිණෙන මෙම පිරිස දේවාලය වැද පුදා ගැනීමට පෙර මැණික් ගගෙන් දිය නා පිරිසිදු වීමට අමතක නොකළහ. නඩයේ සිටි පුංචි දරුවෝ හැමදාම කොළඹ නළ ජලයෙන් නාන නිසා ගලා බසින මැණික් ගඟේ දිය නෑමට දැඩි කැමැත්තක් දැක්වුහ.
කවුරුත් මැණික් ගඟට බැස ඉවුරු අයිනේ සිට දිය නාමින් සිටියහ. අඩියක් තරම් ගැඹුරු ජලයේ කිමීදෙමින් සිටි පුංචි දරුවෙක් එක් වර 'අම්මේ අර කළු කොටයක් උඩ යට යනවා' යැයි සිය මවට පෙන්විය. මෙය දුටු මව කළු කොටය දෙස බලා සිටියාය. අරුමයකි. කොටය උඩුගම්බලා යමින් තිබේ. නිමේෂයකින් මවට මේ සිටින්නේ කිඹුලකු බවට වැට හී වහා දුවගොස් දරුවා රැගෙන මහා හඩ දෙමින් මැණික් ගගෙන් ගොඩට පැමිණියේ තවත් මැණික් ගඟේ දිය නාමින් සිටි පිරිසක් ද සමගිනි.
මේ දින සිය මව නොසිටින්නට තවත් වටිනා මැණික් ගඟේ කිඹුලන්ට බිලි වෙන්ට තිබුණි.
අද කතරගම මැණික් ගඟ මාතර නිල්වලා ගඟ මෙන් බියකරු වු ස්ථානයක් බවට පත්ව තිබේ. වෙනදා සුදුු වැලි පෑදුණු මැණික් ගඟට අද කුමක් හෝ වී ඇත. මැණික් ගඟ හරහා පාළම් උඩින් යන වන්දනාකරුවන් අන්න කිඹුලා යනවා වැනි වචන දැන් නිතරම ඇසේ. කිඹුලන් 50 ක් පමණ ගඟේ සැරිසරතියි කියයි.
පසු ගිය මාස කීහිපයේ දි ජීවිත 06 ට වැඩි කිඹුලන්ගේ ගොදුරු බවට පත්විය.
පස්සර නමුණුකුළ කන්දෙන් ගලා බසින මැණික් ගඟ ඉන්දියාවේ ගංගා නම් ගඟ හා සමානව ලාංකීය ජනයාට උතුම් ශුද්ධ වු ගඟකි.
2012 වර්ෂයේ දි එක්තරා පිරිසක් මැණික් ගඟ අසළ අංක 02 පාළම ආසන්නයේ තිබු හරස් බැම්ම කඩා දැමීමේ ප්‍රතිඵළයක් මත ගඟේ තිබු වැලි පහළ කොටසට ගලා ගෙන ගොස් වළවල් සැදීම නිසා කිඹුලන්ට අවශ්‍ය පරිසරය සැදී තිබේ. කිසිදු ස්ථානයක වැල්ලක් දැක ගැනීමට නැත. කතරගම පෙරහැර අවසන් වී මෙවර දිය කැපෙනුයේ ද ගඟේ වෙනත් තැනකය.
ගැඹුර ද දිනෙන් දිනම වැඩි වෙයි. ආරක්ෂක බැමි ද ගඟට වැටී ඉවුරු ගඟට සෝදා යයි.
මැණික් ගඟේ කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස වනජිවි නිළධාරින්ට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට මාස 03 කට පෙර නියෝග කරනු ලැබීය. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන් රජයෙන් ද ඉල්ලා සිටියේ මැණික් ගඟ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.