මෛත්‍රීට අගමැතිකම දෙන්න කියල මම මහින්දට කීවේ 2014 දි ඒත් ඒක කළේ නෑ


 26_MAIN_P14    

 

දයාන් ජයතිලක දේශපාලන වශයෙන් වාමාංශික ද දක්ෂිණාංශික ද කියන ප්‍රශ්නෙට මුලින්ම උත්තරයක් දෙන්නකෝ?
මගේ දේශපාලනය හා මතවාදය කිසිම අවස්ථාවකදී කිසි විදියකින් දක්ෂිණාංශිකයි කියලා කාටවත් නම් කරන්න පුළුවන්කියලා මං හිතන්නේ නෑ. මම ඉස්කෝලෙ යන කාලෙම  “මිටි පහර” කියලා සංවිධානෙකට බැඳුණා. එදා ඉඳන් 1988 විතර වෙනකම් රැඩිකල් වාමාංශික දේශපාලනයක් අනුගමනය කළා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මාව මාක්ස් ලෙනින්වාදියෙක් විදියට නිර්වචනය වෙන්නේ නෑ. 1988 කාලේ ඉඳලා අද දක්වා මගේ දේශපාලන දර්ශනය නිර්වචනය කරන්න පුළුවන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හැටියට. එහෙමත් නැත්නම් මධ්‍ය වාමාංශික දේශපාලනයක් විදියට.

 

565
ඔච්චර රැඩිකල් වාමාංශිකයා යූඑන්පී එකේ රණසිංහ ප්‍රේමදාස හිස් මුදුනින් පිළිගන්නේ කොහොමද? 
මම ප්‍රේමදාස මැතිතුමාට කෙළින්ම සහයෝගය දුන්නේ ඔහු තුළ තිබුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසා මිසක් දක්ෂිණාංශික පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියලා හිතන්නේ නැතුව. එතුමා යටතේ එම පක්ෂයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක් තිබුණා. කවදාවත් මම දක්ෂිණාංශික නායකයින්ට හෝ දක්ෂිණාංශික දර්ශනයකට සහයෝගය දීලා නෑ. ජාත්‍යන්තර වශයෙන් හෝ මම දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවයක් හෝ සාධකයන් සමඟ කවදාවත් අනන්‍යවෙලා නෑ.


සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් සහ වාමාංශිකයෙක් හැටියට ඒ වෙලාවෙ රණසිංහ ප්‍රේමදාසට සහයෝගය දීම හැර වෙන කළ හැකි දෙයක් මට තිබුණෙ නෑ. මම විතරක් නෙවෙයි ඕනෑම සැබෑ සමාජවාදියෙක්, වාමාංශිකයෙක්ම එදා කළ යුතුව තිබුණේ රණසිංහ ප්‍රේමදාසට විරුද්ධව කැරැලි ගැසීම නෙවෙයි ඔහුට සහාය දිම. මම කළේ ඒකයි. රණසිංහ ප්‍රේමදාස ගැන හරියට අධ්‍යයනය කරන්නේ නැතුව තමයි ගොඩක් අය ඔහු ගැන තින්දු දෙන්නේ. 

 

5

 

ඔබ කියන්නේ ඒ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ කළෙත් ඕන්නැති වැඩක් කියලද?
ජනතා විමුක්ති පෙරමුණ කරපු වැඬේ වැරැදියි විතරක් නෙවෙයි ඒක මහ මෝඩ වැඩක්. ඒකනිසා තමයි විශාල වශයෙන් ඔවුන් ඝාතනයට ලක් වුණේ. ප්‍රේමදාස මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ සිරකරුවන් 1800 ක් නිදහස් කළා. ඒක පාර්ශ්විකව සටන් විරාමයක් ක්‍රියාත්මක කළා. ජනතා විමුක්ති පෙරමුණට සාකච්ඡා සඳහා ආරාධනා කළා. ඒ වගේම ඔවුන්ට කැබිනට් එකේ ඇමැතිකම් තුනක් ගන්න. නමුත් ප්‍රේමදාස කියන ප්‍රගතිශීලී චරිතය යටතේ ඇමැතිකම් නොගත්ත ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ නම් ඇමැතිකම් ගත්තා. මම කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන විතරක් නෙවෙයි. එදා ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉඳපු අයගෙන් ඔසී අබේගුණසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ එක ධාරාවක් හැර අනෙක් සියලු වාමාංශිකයෝ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධ වුණා. එම පිරිසෙන් සමහරු අද අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය තුරුල්ලේ ඉන්නවා. මේ අයගේ වාමාංශිකත්වය මට නම් තේරුම් ගන්න අමාරුයි.

 


දයාන් ජයතිලකට තියෙන අසීමිත මහින්ද රාජපක්ෂ ප්‍රේමය මොකක්ද?
ඒක බොහොම සරල සත්‍යයක්. මේ රටේ විශාල ජනතාවක් ඔහුට ඇලුම් කරන හේතුවම තමයි. ලංකාව ත්‍රස්තවාදයෙන් මුදා ගත්තේ මහින්ද රාජපක්ෂ. මේක ගොඩින් විසඳගන්න තිබුණු අවස්ථාව ඊට කලින් ඉඳපු නායකයෝ පාවිච්චි කළේ නෑ. රනිල් වික්‍රමසිංහටයි චන්ද්‍රිකා කුමාරතුංගටයි ඕනෑ තරම් ජාත්‍යන්තර සහයෝගය තිබුණා මේ ත්‍රස්තවාදය අතුගාදාන්න. නමුත් ඒක ඔවුන් කළේ නෑ. ඒක කළේ මහින්ද රාජපක්ෂ, ඒක හින්දා ඔහුට කිට්ටුවෙන්නවත් යන්න පුළුවන් දේශපාලන නායකයෙක් වෙන නෑ කියන එක තමයි මගේ අදහස. එතුමගේ වැරැදිවලට වඩා ඔහුගේ නිවැරැදි දේවල් විශාලයි කියන මතයේ මම ඉන්නවා. එතුමා වැරැදි නොකරයි කියන මතයේ මම නෑ. එතුමා කරපු වැරැදි විවේචනය කරන්න පටන් ගත්තු පුද්ගලයෙක් මම. එතුමගේ පිළේ ඉඳිමින් මම එතුමගේ යම් යම් කටයුතු විවේචනය කළේ. මාඕ සේතුං සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය හැමදාම කියන්නේ ඔහුගේ 70%ක් නිවැරැදියි. 30%ක් වැරැදියි කියලා. මහින්ද රාජපක්ෂ ගැනත් මම කියන්නේ ඒ වගේ අදහසක්.

 


මහින්ද රාජපක්ෂට මේ සමීකරණය ආදේශ කළාම කොහොමද ප්‍රතිශතය?
ඒත් 70%න් හරි 30%ක් වැරැදියි කියන එක තමයි. මාඕ සේතුං සම්බන්ධ විග්‍රහයම තමයි.

 


මහින්ද රාජපක්ෂට හොඳටම කිට්ටුවෙලා ඉඳපු ඔබ අර 30% නිවැරැදි කරගන්න කියලා ඔහුට කිව්වෙ නැද්ද?
මම හැර කවුද ඒ ගැන කතා කළේ. යුද්ධ ජයග්‍රහණයෙන් හා ජිනීවා ජයග්‍රහණයෙන් පස්සේ 13 වැනි සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියලා දිගින් දිගටම කිව්වේ මම. සමහරු කිව්වෙ 13 වැනි සංශෝධනය මදි කියලා. තව පිරිසක් කිව්වේ වැඩියි කියලා. මම මධ්‍යස්ථ තැනක ඉඳලා එදා කළ යුතුව තිබුණු දේ ප්‍රකාශ කළා. ඒත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. මම කිව්වා නිවැරැදි කරගන්න ඕනෑ කියලා. මම හිතපු කාරණා කීපයක්. ඒවා වුණේ නෑ. මගේ ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ උපදෙස් පිළිනොගත්ත එකේ ප්‍රතිඵල භුක්ති විඳගන්න ලැබුණ ඒ අයට. 

 


මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයේදී මහින්දට වඩා අනෙක් රාජපක්ෂවරු බලවත් වෙලා පිස්සු නටපු එක මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතුවුණා කියලා මිනිස්සු කියන කතාව දයාන් පිළිගන්නවද?
යුද්ධ සමයේදී තමන්ට විශාල උදව්වක් වුණු තමාගේ දක්ෂ පවුල යුද්ධයෙන් පස්සේ පමණට වඩා ශක්තිමත් වුණා. යුද්ධ කාලේ ඒ පවුල මහින්දට පවුරක් වුණා. ඒ නිසා තමයි ප්‍රේමදාසට සිද්ධවුණු දේ මහින්දට සිද්ධ වුණේ නැත්තේ. ඒත් සන්දර්භය වෙනස් වුණාම තමාගේ ආරක්ෂක පවුරේ වුණත් නිශේදනාත්මක පැත්තක් මතුවෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ගැන කතා කළොත් ඔහු දක්ෂතා තිබුණු පුද්ගලයෙක්. ඒත් ඒ දක්ෂතාවයේ සීමා තියෙනවා. මහින්දටත් තිබුණා හැම රාජ්‍යනායකයෙකුටම තිබුණු බල ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නය.

 

jhfh
බැසිල් රාජපක්ෂ ගැන ඔබේ අදහස මොකක්ද?
බැසිල් රාජපක්ෂ දේශපාලන වශයෙන් දැනුමක් තියෙන පළපුරුදු පුද්ගලයෙක්. මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකියාවක් තිබුණා. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර දේශපාලනයේදී සහ ආණ්ඩුවේ දේශපාලනයේදී එතුමා කටයුතු කරපු ආකාරය නිවැරැදියි කියලා කියන්න බෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට අහිතකර ආකාරයට ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂලා හැසිරුණා. ඒකෙ මිල ගෙවන්න වුණේ මහින්ද රාජපක්ෂට සහ රටට.

 


ඔබ කියන විදියට ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙක් වුණු මහින්ද රාජපක්ෂට බැරි වුණේ ඇයි තමන්ගේ මල්ලිලා කන්ට්‍රෝල් කරගන්න?
මහින්දට තිබුණු දුර්වලකම සහ ශක්තිය කියන දෙකම ඒක තමයි. යුද්ධයට මුහුණ දෙද්දි වෙන අයට නොතිබුණු වාසිය වුණෙත් මහින්ද රාජපක්ෂ එක්ක ඉඳපු සහෝදරවරු. නමුත් සාමය කාලයේ ඒ අය අතට අනවශ්‍ය විදියේ බලතල බෙදීමක් සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි මෛත්‍රීපාල සිරිසේනගේ කැරැල්ල. මම මෛත්‍රීපාල සිරිසේනට අගමැතිකම දෙන්න කියලා මහින්ද රාජපක්ෂට කිව්වෙ 2014 මාර්තු මාසේ. නමුත් ඒක ඔහු කළේ නෑ.

 


ඒකට නිදහසට කරුණු විදියට මහින්ද රාජපක්ෂ දුන්නු උත්තරේ මොකක්ද?
එහෙම කළොත් නිමල් සිරිපාල තරහවෙයි කියලා කිව්වේ. එහෙම තත්ත්වයක් තිබුණු එකත් ඇත්ත.

 


පහුගිය ජනාධිපතිවරණයට කලින් ඔබ මහින්ද රාජපක්ෂව ටිකක් තදේට විවේචනය කරලා ආපහු ඒ ළඟ ළඟම ඔහුව වර්ණනා කරන්න ගත්තා. ඔබේ මේ හැසිරීම තේරුම් ගන්න අමාරුයි?
මම ලංකාවට ආවට පස්සේ කිසිම අවස්ථාවකදී මහින්ද රාජපක්ෂ විවේචනය කළේ නෑ. මම ඒ විවේචන ඒ වෙලාවෙ ඉදිරිපත් කළේ වැරැදි ප්‍රතිපත්ති එන්නේ කුමන උල්පත්වලින්ද කියන එක මම දැනගෙන හිටපු හින්දා. ඒ උල්පත් සමහරක් දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. සජින්වාස් හා ක්ෂෙනුකා සෙනෙවිරත්න එක උල්පතක්. ඒ අය විතරක් නෙවෙයි තවත් අය ඉන්නවා. මම මහින්ද රාජපක්ෂ යන ගමනයි විවේචනය කළේ.

 


රාජපක්ෂලට එල්ලවුණු හොරකම් දූෂණ පිළිබඳ චෝදනා ගැන ඔවුන් ළඟින්ම ඉඳපු කෙනෙක් විදිහට ඔබ මොකද කියන්නේ?
ඒ ගැන බොහෝ දෙනා කියන කතාවට වෙනස් දෙයක් මම කියන්නේ. ගිය අවුරුද්දේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ආවා. ඒ වෙලාවෙ විදේශ ඇමැති මංගල සමරවීර ඔහුගෙන් උදවු ඉල්ලුවා මහින්ද රාජපක්ෂගේ ජාත්‍යන්තර හොර සල්ලි හොයන්න. ඇමරිකාවේ සුප්‍රකට හෝ කුප්‍රකට හෝම් ලෑන්ඞ්ස් සිකියුරිටි සමාගමේ සහ අධිකරණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා විශේෂඥයෝ ගේන්න කියලා ඔහුගෙන් ඉල්ලුවා. ජෝන් කෙරී මේකට එකඟවෙලා ඒ කණ්ඩායම ලංකාවට ආවා. ඇවිත් නැවතිලා හිටියේ ක්‍රෙස්කැට් එකේ. මේ සිද්ධිය මාධ්‍යයේ පළවුණා. ඇමරිකාවේ හෝම්ලෑන්ඞ් සිකියුරිටි නිලධාරින් තමයි ඔසාමා බිල්ලාඩන් වගේ අයත් හොර සල්ලි එහා මෙහා කරන ආකාරය හෙව්වෙ. ඒ පිරිස ලංකාවට ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි. ඒත් තාම එහෙම දෙයක් හොයාගෙන නෑ. ඇමරිකාවේ හෝම්ලෑන්ඞ් සිකියුරිටි එකට වඩා මහින්ද රාජපක්ෂ මේ දේවල් හොර රහසේ කරන්ඩ දක්ෂයි. කියලා මට විශ්වාස කරන්න බෑ. ඒක නිසා තමයි මම ඔය හොරකම් පිළිබඳ චෝදනාව පිළිගන්නේ නැත්තේ.

 


ඔබ යූඑන්පී එකේ රනිල් බලවත්වීමට එරෙහිව සජිත් ප්‍රේමදාස ඔසවා තැබීමේ කොන්ත්‍රාත් එකක් පහුගිය කාලේ කළාද?
සජිත්ට කියලා එකක් නෑ. කරු ජයසූරිය වෙන්න පුළුවන් සජිත් වෙන්න පුළුවන්. සුජීව සේනසිංහ වෙන්න පුළුවන්, ඉරාන් වික්‍රමරත්න වෙන්න පුළුවන්. මේ අය ඉස්සරහට එන එක හොඳයි. ඇත්තටම එක්සත් ජාතික පක්ෂය තුළ රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිවල සේයාවක් හෝ ආපහු දකින්න මම කැමැතියි.

 


ඉස්සර එකට ඉඳපු චන්ද්‍රිකාත් දැන් ඔබට පේන්න බෑ වගේ?
විජය කුමාරතුංගට මම සහය දුන්න. අපි දෙන්න අතරෙ දැඩි සමීපතාවයක් තිබුණා. ඔහුගේ ඝාතනයෙන් පස්සෙ තමයි මම මහජන පක්ෂයට එකතු වෙන්නේ. ඔහු මියයන්න කලින් තිබුණු පක්ෂ රැස්වීමේදී ඔහු කියනවා මම මහජන පක්ෂයට එකතු වෙනවා කියලා. මම චන්ද්‍රිකාට සහාය දීපු කාලයක් තිබුණා. 1999 විතර ඉඳලා 2004 වෙනකම්. මම විරුද්ධ වුණේ ඇය පශ්චාත් සුනාමි යාන්ත්‍රණය ගෙනාපු වෙලාවේ. ඒකට එදා ලක්ෂ්මන් කදිරගාමර් පවා විරුද්ධ වුණා. අද ඇය ගැන මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කොන්ත්‍රාත් එක කරන්නේ ඇයයි කියලා. 

 


චන්ද්‍රිකා කුමාරතුංග අද කැන්සල් චරිතයක් කියලද ඔබ කියන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද හම්බවෙන්නේ මෛත්‍රීපාල හා මහින්ද කියන සාධක දෙක මත මිසක් චන්ද්‍රිකා කිය කිය යන විදියට නිසා නෙවෙයි. ඇයට එක ඡන්දයක්වත් ගේන්න බෑ ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙ විතරක් නෙවෙයි රටේම ඇයට තියෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. ඇයට බලයක් නැතුව ඉඳගෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුල් කරනවා. එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පහ කරලා ආණ්ඩුවෙනුත් පහ කරලා අලුත් දේශපාලන සමීකරණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හදාගන්න ඕනෑ. එතුමිය ආණ්ඩුවත් අවුල් කරනවා. 

 


ඔබ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු කීපයක්ම දැරුවනේ. ඒවා ගත්තේ දේශපාලන නායකයෝ එක්ක ඩීල් දාලද?
මොන ඩීල් ද මගේ දක්ෂතාවයට ඒවා හම්බවුණේ. මම කරපු හැම දෙයක්ම මගේ උපරිමයෙන් කරල රටට කීර්තියක් ගෙනත් දුන්නා. මම තනතුරු ඉල්ලගෙන කාගෙවත් පස්සේ ගියේ නෑ. මම කරපු වැඩවල ප්‍රතිඵලවලින් ඕන කෙනෙකුට දකින්න පුළුවන් ඒ තනතුරු දේශපාලන නායකයො දුන්නෙ ඇයි කියන එක. මම සේවාව දික් කරන්න කියලා ඉල්ලලාත් නෑ.

 


ඔබට සජින් වාස් එක්ක තියෙන අවුල මොකක්ද?
මම ඔහු කලින් දන්නෙවත් නෑ. මම කතා කරලත් නෑ. ඒත් ඔහුට මා සමඟ ප්‍රශ්නයක් තිබුණු බව නම් පැහැදිලියි. ඔහු කවුරු වෙනුවෙන් කටයුතු කළාද කියන එක තමයි ප්‍රශ්නෙ. මාව ජිනීවාවලින් අයින් කරනවා කියලා ඊට කාලෙකට කලින් කිව්වෙ ක්ෂෙනුකා සෙනෙවිරත්න. සජින් එක්ක තමයි ක්ෂෙනුකා වැඩ කළේ. මම දරපු තනතුරට ක්ෂෙනුකා පත්වෙනවා කියලත් ඇය කියලා තිබුණ. ඒ කිව්වා වගේම ඒ පත්වීම් සිද්ධ වුණා. මේ දෙන්නම මට විරුද්ධව වැඩ කළා. මේ අයට එම බලය ලබා දුන්නෙත් මහින්ද රාජපක්ෂම තමයි. ජනාධිපතිගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපදේශකයා හැටියට සජින්වාස් වගේ කෙනෙක් පත්කර ගත්තෙත් මහින්ද රාජපක්ෂ, සජින්ට ඒ තනතුරට නම් සුදුසුකමක් තිබුණෙ නෑ. මම දන්න තරමට.

 


මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන ඇත්ත අදහස මොකක්ද?
මගේ ඒ ගැන කිසිම පැහැදීමක් නෑ. මේ ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්තිය නිවැරැදිව සකස් කරගන්න තාම ජීවතුන් අතර ඉන්න රොනී ද මැල්, සුසිල් සිරිවර්ධන, සිරිසේන කුරේ වැනි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ උපදෙස් අරගන්න කියලා තමයි මම යෝජනා කරන්නේ.
ඒකාබද්ධ විපක්ෂයේ ස්ටේජ් එකට ඔබ ගොඩවෙනවනේ. මේ ස්ටේජ් එකට ඔබ සරත් එන්. සිල්වා වගේ අය ගොඩවෙනකොට සමහර මිනිස්සු ඔබලට හිනාවෙනවා කියලා දන්නවද?


ඒක මට ප්‍රශ්නයක් නෑ. මට හරියි කියලා හිතෙන දේ මම කරනවා. සරත් සිල්වා මහින්ද රාජපක්ෂ ගැන මටත් වඩා දරුණු විවේචන කළා. මම ඒවා කළේ නෑ. ඒ නිසා ඒ කුලකයේ දාලා මං ගැන කතා කරන්න බෑ. තර්කානුකූලව

 


දේශපාලන විද්‍යාව හොඳට දන්න කෙනෙක් විදියට දේශපාලන ප්‍රශ්න පොල් ගහලා බේරගන්න හදන මිනිස්සු එක්ක දයාන් ජයතිලකට ගනුදෙනු කරන්න පුළුවන්ද? 
මම පොල්ගහන්න යන්නෙ නෑනේ. පොල් ගහන අය පොල් ගහපුදෙන්. මට තනියම රට යන ගමන වෙනස් කරන්න බෑනේ. මම පොදු විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයකට අයත් සාමාජිකයෙක් නෙවෙයි. නමුත් අද තියෙන තෝරාගැනීම අනුව රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට වඩා ඒකාබද්ධ විපක්ෂය බෙහෙවින් රටට හිතකරයි. 

 


රණසිංහ ප්‍රේමදාස වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා දයාන්ට අමතක නොවෙන පෝරියල් එකක් බොරැල්ල කනත්තෙදි එක සැරයක් හම්බ වුණා. මේවයින් පාඩම් ඉගෙන ගත්තේ නැද්ද?
එදා බොරැල්ල කනත්තේදී මාව වටකරගෙන මාව නිරුවත් කරලා සිමෙන්ති කෑලිවලින් මගේ ඔළුවට ගහලා මාව මරන්න උත්සාහ දරපු පිරිස අතරින් කීප දෙනෙක් පහු කාලෙක මට කතා කරලා කිව්වා මම එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන කියපු දේ අද ඒ අය පිළිගන්නවා කියලා. එදා වුණේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැරුවේ ප්‍රේමදාසයි කියලා සමහරු මතවාදයක් ගෙනියපු එක. මම ඒකට විරුද්ධව කතා කළේ. මම එදා කිව්වා ප්‍රේමදාස තරම් රටට හොඳක් කරපු නායකයෙක් වෙන නෑ කියලා. ඒ කියපු කතාවට තමයි කොබ්බෑකඩුවගෙ මරණෙ වෙලාවෙ කනත්තෙදි ජාතිවාදී සහ ප්‍රේමදාස විරෝධීන් මාව මරන්න උත්සාහ කළේ. ඒක හරි ගියේ නෑ. මම ඉස්පිරිතාලෙදිත් ඒ මම කියපු කතාවමයි කිව්වෙ. මම ඒ කතාව අයින් කර ගත්තේ නෑ. මම ප්‍රේමදාස ගැන කියපු දේ හරි කියලා දැන් කවුරුත් කියනවා. ඒ සිදුවීම ගැන මට කිසිම පසුතැවීමක් නෑ.

m