රටින් සහල් ගෙන්වීම සැබෑ විසඳුමක්ද?


ආනයනික සහල් කිලෝවක් සඳහා වන රුපියල් 65 විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට රජය තීරණයක් ගෙන ඇතැයි පසුගියදා වාර්තා විය. ආනයනික සහල් මිල අඩු කිරීම සඳහා මේ පියවර ගෙන ඇතැයි ද ලබන 21 වැනිදා දක්වා මේ තීරණය ක්‍රියාත්මක වනු ඇතැයි ද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද සහල් ආනයනය කිරීම සඳහා ආහාර කමිටුව ගත් තීරණයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැඩි විරෝධය පළකර ඇති බවත් ඔහු තම විරෝධය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙන බවත් සඳහන් වෙයි. එම ලිපිය මගින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වී අස්වනු නෙළන සමය උදා වී ඇති බැවින් මේ අවස්ථාවේදී සහල් ආනයනය කළහොත් ලාංකික ගොවීන්ට වී අස්වැන්න විකුණාගන්නට නොහැකි වනු ඇති බවය. එමගින් ලාංකික ගොවියා අන්ත අසරණ වනු ඇති බවට ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අස්වැන්න නෙළන කාලයට අදාළ භාණ්ඩය පිටරටින් ගෙන්වීම සම්බන්ධයෙන් ලංකාව කප් ගසා සිටින රටකි. අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට එනවිට පිටරටින් ගෙන්වූ අල වෙළෙඳපොළට පැමිණ හමාරය. ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් ද එය සුලබ අත්දැකීමකි. දැන් ඒ තීරණය සහල් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මකය. මෙවැනි තීන්දු තීරණ ගන්නා රටක ජීවත්වන ගොවියා පමණක් නොව පාරිභෝගිකයා ද අවාසනාවන්තයෝ වෙති. ගොවියාට නිසි මිලක් නැත. පාරිභෝගිකයාට ද සාධාරණය ඉටුවන්නේ නැත. හැබෑ වාසනාවන්තයන් වන්නේ ආනයනකරුවන් සහ අතරමැදි ගසාකන්නන් බව ද ප්‍රසිද්ධ රහසකි. ඔවුහු මේ ගනුදෙනුවලින් විශාල ලාබයක් උපයති. ඔවුන් මේ ලාබය උපයාගන්නේ ලාංකික ගොවීන්ගේ දුක් කඳුළැලි මතින් වීම ලොකුම ඛේදවාචකයයි. අමාත්‍යවරයා සිය ලිපියෙන් පැහැදිලි කර ඇත්තේ මේ යථාර්ථයයි.

මේ ආකාරයේ අසංවිධානාත්මක සහ යථාර්ථවාදී නොවන තීන්දු තීරණ ගැනීමට ප්‍රධානම හේතුව අපේ රටට තවමත් නිසි අයුරින් ක්‍රියාත්මක වන කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. අපට ඇත්තේ ජාතික ප්‍රතිපත්ති නොව ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන ප්‍රතිපත්තිය. ඇතැම් විට එකම ආණ්ඩුවේ අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට පවා ප්‍රතිපත්තිය වෙනස් වෙයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එක රැයින් රසායනික පොහොර තහනම් කිරීමට ගනු ලැබූ තීන්දුව මේ සඳහා කදිම උදාහරණයකි. එහි ප්‍රතිඵල කොතරම් දරුණු වී දැයි කිවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරය අහිමි වීමට පවා එම තීන්දුවේ ප්‍රතිඵල ද හේතු විය. මේ තරම් පැහැදිලි උදාහරණ තිබියදීත් අපි තවමත් ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අඳුරේ අතපත ගාමින් සිටිමු.

මේ රටේ සහල් මාෆියාවක් පවතින බවට බොහෝ චෝදනා නැගෙයි. මේ මාෆියාකාරයන් රටේ සහල් මිල තීරණය කරන බව ද වී තොග සඟවා තබාගෙන අස්වනු නොමැති කාලයට ඒවා සහල් කර වෙළෙඳපොළට මුදාහැර අධික ලාබ ලබන බව ද තමන්ට අවශ්‍ය වූ විට කෘත්‍රීම හිඟයක් මවා තමන් සතු සහල් තොග අධික මිලකට විකුණන බවට ද විවිධ ආණ්ඩු වරින්වර චෝදනා කර තිබේ. එහෙත් මේ මාෆියාව මර්දනය කර ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටු කිරීමට කිසිදු ආණ්ඩුවක් ඍජු පියවරක් මෙතෙක් ගෙන නැත. ඒ වෙනුවට ඔවුන්ගේ තේරීම පහසුම තේරීමයි. එනම් සහල් ආනයනයට ඉඩ දීමයි.

අස්වනු නෙළන කාලයට සහල් ආනයනයට ඉඩ දීම යනු ගොවියාගේ ගෙල සිර කිරීමකි. අනෙක් අතට සහල් ආනයනකරුවන්ට බදු සහන ලබාදීම ඔවුන්ට විශාල අයුතු ලාබයක් ලබා ගැනීමට ද ඉඩකඩ විවර කිරීමකි. සීනි, සුදු ලූනු පමණක් නොව ලොකු ලූනු ආනයනයේදීත් මේ න්‍යායම ක්‍රියාවට නැංවෙනු අපි දැක ඇත්තෙමු. ඒ හරහා කෙදිනකවත් රටේ කෘෂිකාර්මික ගැටලු‍ විසඳී නැත. එහෙත් එම ගනුදෙනු දේශපාලන අධිකාරියේ ඇතැමුන්ගේ සාක්කු පුරවන බවත් ගැටලු‍වලට සැබෑ විසඳුම් නොලැබීමට එය ද හේතුවක් බවත් නොරහසකි.

රටින් සහල් ගෙන්වීම වැනි පැලැස්තර විසඳුම් සැබෑ ගැටලු‍වට විසඳුමක් නොවේ. එම ගැටලු‍ තිරසර ලෙස විසඳා ගැනීමට නම් ජාතික ප්‍රතිපත්ති සකස් කර ගත යුතුය. ඒ සඳහා උනන්දු නොවන තාක් මේ ගැටලු‍වලට විසඳුමක් නැත.

(***)