ලංකාව දුප්පත්ද බාගෙට පොහොසත්ද ?


මැදි ආදායමේ සිට යළි දුප්පත් රටක් කරා යන ගමනේ කතාව

 

ආර්ථික ගින්නෙන් රට දැවෙමින් තිබේ. ජනතාව එගිනි දරා සිටීමට හෝ නිවා දැමීමට මං සොයති. එහෙත් ආර්ථික ගින්නේ දැඩි රශ්මිය හේතුවෙන් එකී උත්සාහය ව්‍යර්ථ වෙමින් තිබේ. උසුලාගත නොහැකි ජීවන බරට කර ගසා සිටින ජනයාට වේගයෙන් පැතිර යන ආර්ථික ගින්නෙන් බේරී යාමට දැඩි ජවයකින් දිව යෑමට හැකියාවක් නැත. ඔවුහු හෙම්බත්ව සිටිති. දුප්පත්කම, මන්ද පෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව ජාතික හා ජාත්‍යන්තර දත්ත අනාවරණය කරයි. මේ සියලු කාරණා හමුවේ ආණ්ඩුව ආර්ථික ගින්න නිවා දැමීමේ මං සොයමින් සිටී.

මෙම උත්සාහයේ තවත් පියවරක් වශයෙන් ලංකාව අඩුආදායම් ලාභී රටක් බවට පත්කිරීමට ඉකුත් දා ආණ්ඩුව තීරණය කළේය. මේ දක්වා ඉහළ මැදි ආදායම් රටක් වශයෙන් වර්ගීකරණය කර තිබූ ලංකාව මෙලෙස අඩු ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ආර්ථිකයේ ගමන්මග වෙනස්කර ගැනීමට ආණ්ඩුව ඉලක්ක කරන බව පෙනේ. ලෝක බැංකුව ඒ ඒ රටවල පවත්නා ආර්ථික දත්ත උපයෝගී කරගනිමින් වර්ගීකරණයකට ලක්කරනු ලබයි. භූගෝලීය කලාප අනුව, ආදායම් කාණ්ඩ අනුව, මෙහෙයුම් ණය දෙන කාණ්ඩ අනුව, වෙනත් කණ්ඩායම් ලෙස යන කාණ්ඩ හතර යටතේ ලෝකයේ රටවල් වර්ගීකරණයට ඒ අනුව ලෝක බැංකුව කටයුතු කර තිබේ.


එමෙන්ම ඒ ඒ රටවල්වල ඒක පුද්ගල ආදායම අනුව රටවල් වර්ගීකරණයට ද ලෝක බැංකුව කටයුතු කර තිබේ. එම වර්ගීකරණය අනුව ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1046 ට අඩු රටවල් අඩුආදායම්ලාභී රටවල් වශයෙන්ද. ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1046 ත් 4095 ත් අතර රටවල් පහළ මැදි ආදායම් ලාභී රටවල් වශයෙන් ද. ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4096 ත් 12,695 ත් අතර රටවල් ඉහළ මැදි ආදායම්ලාභී රටවල් වශයෙන් ද, ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 12,695 ට වැඩි රටවල් ඉහළ ආදායම් ලබන රටවල් වශයෙන් ද වර්ග කර තිබේ.


යම් රටක් අඩු ආදායම්ලාභීද මැදි ආදායම් ලාභීද, දියුණු රටක් ද, දුප්පත් රටක් ද යන්න තීරණය වන්නේ මෙම නිර්ණායකය පදනම් කරගෙනය. මෙම වර්ගීකරණය අනුව ලංකාව සිටියේ ඉහළ මැදි ආදායම් ලාභී රටක තත්ත්වයේය. එහෙත් පසුගිය කාලයේ උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමග රටේත් ජනතාවගේත් ආර්ථිකය පිරිහීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒක පුද්ගල ආදායමේද පහළ යාමක් පෙන්නුම් කර තිබේ. එයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලංකාව අඩු ආදායම්ලාභී රටක් හැටියට ප්‍රකාශයට පත්කර ජාත්‍යන්තර වශයෙන් සහනදායී ණය පහසුකම් ලබා ගැනීම අරමුණු කරමින් අඩු ආදායම් ලාභී රටක් හැටියට ප්‍රකාශයට පත්කර ඇත.
අඩු  ආදායම්ලාභී රටක්ව පැවැති ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලාභී රටක් බවට ප්‍රකාශයට පත්වූයේ 1997 වසරේදීය. එම වසරේදී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3600 ක් පමණ වී තිබුණි. 2017, 2018 වසරවලදී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ පසුවිය. මේ කාලයේ උද්ධමනය, පොලී අනුපාත පහළ අගයක පැවැති අතර දරිද්‍රතාව, විරැකියාව ද අවම අගයක් කරා ගමන් කළ ආකාරයක් දැකගත හැකිය. එමෙන්ම ජනතාවගේ ආර්ථිකය නැතිනම් පවුලේ ආර්ථිකය ද යහපත් දිශාවකට ගමන් කරමින් තිබූ බව සැවොම අත්දැකීමෙන් දන්නා කාරණයකි. රටේ මධ්‍යම පන්තියක් නිර්මාණය වූ අතර ඔවුන්ගේ අවශ්‍යතා ද ඉහළ මට්ටමකට ගමන් කළේය. පවුලකට මෝටර් රථයක් මිලට ගැනීම, නව නිවසක් ඉදිකිරීම යනාදී අවශ්‍යතා ද මතුවූයේය. මේවා හරහා පිළිබිඹු වූයේ ආර්ථිකයේ ඇතිවෙමින් තිබූ වර්ධනයයි. පිබිදීමයි. වෙනත් ආකාරයකට කියන්නේ නම් ජනතාව පොහොසත්, රට පොහොසත් යන අදහස සමාජගත වෙමින් තිබුණි. ඒ වගේම එය ජනතාවගේ ඇඟට දැනෙමින් තිබුණි. ජනතාවට අපහසුවකින් තොරව තම ජීවිතය ගෙන යාමට අවශ්‍ය ආර්ථික වටපිටාව රට තුළ ගොඩනැගී තිබුණි. රටේ ජනතාවගේ ආර්ථික මට්ටම මැන බලන සහ රටක් දුප්පත්ද පොහොසත් ද කියන එක් දර්ශකයක් වන ඒකපුද්ගල ආදායම සාධනීය දිශාවකට ගමන් කළේය. එකී දිශාවට රට ගෙනයාමට අවශ්‍ය පසුබිම සකසාගත් ආකාරය පිළිබඳව වෙනම කතා කළ යුත්තකි. මැදි ආදායම් උගුල, ණය උගුල යනාදිය පිළිබඳ කාරණා එවන් තැනකදී විග්‍රහ කරගත හැකිය. කෙසේ වුවත් රටක් වශයෙන් අපි පොහොසත් මාවතේ සිටි බව දන්නෙමු.


ආර්ථික වර්ධනයට සමගාමීව ඒකපුද්ගල ආදායම වර්ධනය කරගනිමින් ඉහළ ආර්ථික තලයකට ගමන් ගත් ලංකාවේ ඒකපුද්ගල ආදායම 2019 දී ඩොලර් 3848 ක් දක්වා ද 2020 දී ඩොලර් 3695 ක් දක්වා ද පහළ ගියේය. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක තත්ත්වයට පත්වූ බවය. ඉහළ මැදි ආදායම් රටක මට්ටමේ වසරක පමණ කාලයක් ලංකාව සිටි බව පෙනේ. දිගින් දිගටම ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2020 දී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයට පහළ බැස්සේය. 2021 දී මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 3814 ක අගයක පැවතියේය. 2022 වසරේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 3699 පමණ වන බව සඳහන්ය. මෙකී දත්ත අනුව බලන විට ලංකාව සිටිය යුත්තේ පහළ මැදි ආදායම් ලබන කාණ්ඩයේ රටක් වශයෙනි. එනම් ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1086 ත් 4095 ත් අතර කාණ්ඩයේය.


කෙසේ වුවත් පවතින ආර්ථික අර්බුදය විසඳීමට සහනදායී ණය ලබා ගැනීමේ අරමුණෙන් ආඩු ආදායම් ලාභී රටක් බවට ලංකාව වර්ගීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගෙන අවසන්ය. මෙම වසරේදී මෙරට ඒක පුද්ගල ආදායම තවදුරටත් අඩුවනු ඇතැයි ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. එවන් පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට මැදිහත් වීම පහසුවීම පිණිස මෙම තීරණය ගෙන ඇති බව ද ආණ්ඩුව පෙන්නා දෙයි. රටක ආදායම ඉහළ යන විට සහනදායි දේවල් නොලැබෙන බව ද අමතක නොකළ යුතුය. සාමාන්‍ය පවුලක් දුගී තත්ත්වයේ සිට පොහොසත් ​ෙවන විට එතෙක් ලැබුණු සහනාධාර ක්‍රමයෙන් අඩු වීම මේ කාරණය තේරුම් ගැනීමට ඇති හොඳම උදාහරණයයි.


මුලින් සඳහන් කළ වර්ගීකරණයේ මෙහෙයුම් ණය දෙන කාණ්ඩය යට​තේ කෙරෙන වර්ගීකරණය අපට වැදගත්ය. මෙම කාණ්ඩයට අයත් වන රටවලට කොන්දේසි නැතිව ණය දීමට ලෝක බැංකුව උත්සාහ කරයි. මෙහෙයුම් ණය දෙන කාණ්ඩය යටතේ ලෝකයේ රටවල් කාණ්ඩ තුනකට බෙදීමට ලෝක බැංකුව කටයුතු කර ඇත්තේ ඒ නිසාය. අන්තර්ජාතික සංවර්ධන සංගමය යටතට වැටෙන රටවල් ඉන් එක් කොටසකි. ඒ යටතට වැටෙන රටවල් ගණන 74 කි. මෙම සංගමය යටතේ ණය ගැනීමට සුදුසුකම් ලැබීමට නම් ඒ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 1255 ට වඩා අඩුවිය යුතුය. ඒ වගේම ඒ රට කුඩා රටක් විය යුතුය. ඒ රටේ දරිද්‍රතාව ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුය. ලෝක බැංකුව 1960 දී මේ නිර්ණායක හඳුන්වා දුන්නේය.
එහෙත් වර්තමානයේ දී ණය ගැනීමට මේ නිර්නායක මෙලෙසම අවශ්‍ය නොවේ. දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය ආදී රටවල් අන්තර්ජාතික සංවර්ධන සංගමයෙන් ණය ගත හැකි රටවල් ලෙස හඳුනා ගෙන තිබේ. බංගලාදේශයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 2824 කි. භූතානයේ 3184 කි. එහෙත් මාලදිවයිනේ ඒක පුද්ගල ආදායම ​ඩොලර් 8995 කි. යම් රටක ඒක පුද්ගල ආදායම වැඩි වුවත් දුප්පත්කම ඉහළ නම්, කුඩා රාජ්‍යයක් නම් මුලින් කී   නිර්නායක වැදගත් නැත. ඒවා නොසලකා ඉහත සංගමයෙන් ණය ගත හැකිය.
ඒ වගේම ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව යටතට වැටෙන රටවල් ද තිබේ. මේ බැංකුව යටතට ලෝකයේ සෑම රටක්ම පාහේ වැටෙන බව ද කිව යුතුය. මෙහිදී සහනදායී කොන්දේසි යටතේ ණය ලැබෙන්නේ නැත. පොලී, කොන්දේසි වැඩිය. ඒ වගේම ඒ රට ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතුය.


මිත්‍ර රටවල් කාණ්ඩය ​ තවත් එකකි. මේ රටවලට ඉහත සඳහන් ආයතන දෙකෙන්ම ණය ගත හැකිය. ලංකාවට සහනදායී ණය ගැනීම හොඳය. ඒ සඳහා ලංකාව දුප්පත් රටක් බව කීමක් අවශ්‍ය නැත පොහොසත් රටවලටද මේ ආයතන ණය දී තිබීම එයට හේතුවය. මාලදිවයිනට දෙන ණය උදාහරණයකි. ලංකාවේ දරිද්‍රතාව මේ වන විට ඉතා ඉහළ අගයක පවතින බවත් මේ නිසා ආර්ථිකය දැඩි අවිනිශ්චිතතාවක තිබෙන බවත් ඒ මත පදනම්ව අපේ රට අන්තර්ජාතික සංවර්ධන සංගමයට අයත් රටක් බවට පිළිගන්නා ලෙසත් ඒ අනුව අපට සහනදායී ණය දෙන ලෙසත් ඉල්ලා සිටිය හැකිය. මෙතැනදී කළ යුත්තේ රට දුප්පත් බවට පිළිගන්නා ලෙස කරන ඉල්ලීමක් නොවේ.


ලංකාව මේ කාණ්ඩයෙන් ඉවත් වූයේ දුප්පත්කම අඩු වූ කාලයේය. 2019 වන විට මෙරට දුප්පත්කම සියයට 14 දක්වා අඩු වී තිබුණි. 2016 එය සියයට 4 ක පමණ අගයක තිබුණි. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉක්මවා තිබුණි. දැන් මේ දුප්පත්කම වැඩි වී ඒක පුද්ගල ආදායම අඩුවෙමින් තිබේ. රටේ තත්ත්වය එයින් පැහැදිලිය. එසේ වුවත් අප කළ යුත්තේ ණය ගැනීමට රට දුප්පත් බව කීමට වඩා අන්තර්ජාතික සංවර්ධන සංගමය යටතට ගැනෙන රටක් බවට පිළිගන්නා ලෙස ඉල්ලීමය. දුප්පත් රටක් වූ ලංකාව ණය ගනිමින් පොහොසත් වූ ගමනක් පැමිණියේය. දැන් ඒ ක්‍රියාවලිය සාර්ථක නොවන බව ඔප්පු වී තිබේ. ඒ නිසා අපේ දියුණුව අපම සලසාගත යුතුව තිබේ. මේ කාරණා අනුව ලංකාව දුප්පත් රටක් ද පොහොසත් රටක් ද යන්න තීරණය කරගත හැකිය.

 

 

 

සටහන 
චමින්ද මුණසිංහ