ලොව ඉහලම විද්‍යාඥයන් අතරට ලාංකිකයන් 27 ක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටෑන්ෆ්ර්ඩ් විශ්වවිද්‍යාලය සහ නෙදර්ලන්තයේ විද්‍යා හා සෞඛ්‍ය පර්ෙ‌ය්ෂණ ප්‍රකාශන ආයතනයක් වන එල්සිවියර් ආයතනය මගින් 2021 වසර සඳහා එළිදක්වා ඇති යාවත්කාලීන කරන ලද ලොව ඉහළම සියයට 2 හි විද්‍යාඥයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 27 දෙනකුගේ නම් ඇතුළත්ව තිබේ. 2019 වර්ෂයේ සිට වාර්ෂිකව නිකුත් කරන මෙම ප්‍රකාශනයට අදාළ 2020 ලැයිස්තුවෙහි මෙරට විද්‍යාඥයන් 24 දෙනකුගේ නම් ඇතුළත්ව තිබිණි. ඒ අනුව මෙම වසරේ දී එම සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි. 


ලොව පුරා සිටින විද්‍යාඥයන් පළ කර ඇති පර්ෙ‌ය්ෂණ පත්‍රිකා, කෘති සහ ඒවායෙහි ඇතුළත් දත්ත හා තොරතුරු වෙනත් පර්ෙ‌ය්ෂකයන් විසින් සිය පර්ෙ‌ය්ෂණ සඳහා උපුටා ගනු ලැබ ඇති ප්‍රමාණය (Citation) මෙම වර්ගීකරණය සඳහා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ලක් කර ඇති අතර ඊට අමතරව සම කර්තෘත්වයෙන් සිදු කර ඇති පර්ෙ‌ය්ෂණ වෙනුවෙන් විද්‍යාඥයන් තනි තනි මට්ටමින් දක්වා ඇති දායකත්වයද එහිදී අවධානයට ගෙන ඇත. එහිදී විද්‍යාඥයන් සිය ජීවිත කාලය ඇතුළත සිදු කර ඇති පර්ෙ‌ය්ෂණ මත පදනම්ව එක් වාර්තාවක්ද සලකා බලන වර්ෂය ඇතුළත (2021) පළ කර ඇති පර්ෙ‌ය්ෂණ ලිපි හෝ කෘති හෝ මත පදනම්ව තවත් වාර්තාවක් ද වශයෙන් ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර තිබේ. ජීවිත කාලය පුරාවට සිදු කර ඇති පර්ෙ‌ය්ෂණ සහ ඒවායෙහි ඇතුළත් දත්ත සහ තොරතුරු වෙනත් පර්ෙ‌ය්ෂකයන් විසින් උපුටා ගනු ලැබ ඇති ප්‍රමාණය මත සකස් කර ඇති වාර්තාව සඳහා 1988 වර්ෂයේ සිට 2021 වසර දක්වා වූ කාලය ඇතුළත සිදු කර ඇති පර්ෙ‌ය්ෂණ සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ පළමු ලැයිස්තුව සකස් කිරීමේදී ලොව පුරා සිටින විද්‍යාඥයන් 195605 දෙනකුද 2021 වසරට අදාළව නිකුත් කර ඇති වාර්තාව සඳහා විද්‍යාඥයන් 200409 දෙනකුද ඇතුළත් කර ගෙන තිබේ. එම පිරිසෙන් සියයට දෙකක් හෙවත් 100000 ක පිරිසක් මෙසේ ලොව ඉහළම විද්‍යාඥයන් වශයෙන් වර්ගීකරණය කර තිබේ. 


එහිදී සියලු විද්‍යාඥයන් විද්‍යාත්මක ක්ෂේත්‍ර 22 කට සහ උපක්ෂේත්‍ර 176 කට බෙදා ඇති බවත් අවම වශයෙන් පර්ෙ‌ය්ෂණ පත්‍රිකා 5 කට වැඩි ප්‍රමාණයක් පළ කර ඇති විද්‍යාඥයන් මෙම වර්ගීකරණය සඳහා සලකා ඇති බවත් ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වේ. 


අදාළ ලැයිස්තුවේ ඇතුළත් ශ්‍රී ලාංකේය විද්‍යාඥයන් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ (ව්‍යවහාරික විද්‍යා පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ව්ලැද්මීර් ස්මැක්තින් (ජල සම්පත් පර්ෙ‌ය්ෂක), මහාචාර්ය සේනක රාජපක්ෂ (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය අනෝමා චන්ද්‍රසේකර (වයඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය රනිල් ජයවර්ධන (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), ආචාර්ය අනුෂ්කා රාජපක්ෂ (වෛද්‍ය පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), මහාචාර්ය ස්ටීෆන් උහෙන්බ්රූක් (වැඩසටහන් අධ්‍යක්ෂ-ජල හා භූමි පරිසර පර්ෙ‌ය්ෂණ වැඩසටහන), මහාචාර්ය ජනක ඒකනායක (ඉංජිනේරු පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ප්‍රියංග රණසිංහ (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය සී.බී. දිසානායක (භූ විද්‍යා දෙපාර්තමේන්තුව-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න (වෛද්‍ය පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය මොහාන් මුණසිංහ, මහාචාර්ය චන්න ජයසුමන (වෛද්‍ය පීඨය-රජරට විශ්වවිද්‍යාලය), මහාචාර්ය එම්.ඒ.කේ.එල්. දිසානායක (මූලික අධ්‍යයන ජාතික ආයතනය), මහාචාර්ය ඩබ්ලිව්.පී.එස්. ඩයස් (සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව-මොරටුව විශ්වවිද්‍යාලය), මහාචාර්ය කේ. තෙන්නකෝන් (හිටපු අධ්‍යක්ෂ-ජාතික මූලික අධ්‍යයන ආයතනය), මහාචාර්ය එච්.ජේ. ද සිල්වා (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය නිලන්ති ද සිල්වා (වෛද්‍ය පීඨය-කැලණිය විශ්වවිද්‍යාලය), විශ්‍රාමික මහාචාර්ය රන්ජන් රාමසාමි (වෛද්‍ය පීඨය-යාපනය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ධනුෂ්ක උදයංග (ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය නිරංජන් රාජපක්ෂ (කෘෂිකර්ම පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය නීලිකා මලවිගේ (වෛද්‍ය පීඨය-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), මහාචාර්ය අසංක සංජීව (ජෛව පද්ධති තාක්ෂණ දෙපාර්තමේන්තුව-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), ආචාර්ය හිමාල් ඒ. සුරවීර (ඉංජිනේරු පීඨය-පේරාදෙණිය විශ්වවිද්‍යාලය), සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ (වෛද්‍ය පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය), මහාචාර්ය කේ.එම්. නලින් ද සිල්වා (විද්‍යා පීඨය-කොළඹ විශ්වවිද්‍යාලය) යන අය ඇතුළත්ය. 


මෙපරිදි ඇගයුමට ලක්ව සිටින ශ්‍රී ලාංකේය විද්‍යාඥයන් අතරින් කිහිපදෙනකු ඒ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපය වෙත පළ කළ අදහස් මෙසේය. 


වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය 


මෙම ආයතන මැදිහත්ව සකස් කරන පර්ෙ‌ය්ෂකයන්ගේ නම් ඇතුළත් ලැයිස්තු දෙකක් තියෙනවා. මුල්වරට ඒවා ප්‍රසිද්ධියට පත් කළේ 2019 වසරෙදි. ඒ අවුරුද්දෙ ඉඳන් මේ දක්වා ඉදිරිපත් කරපු හැම වාර්තාවකම මගේ නම ඇතුළත් වෙලා තිබුණා. මෙවැනි ඇගයීම් හරහා තවදුරටත් පර්ෙ‌ය්ෂණ කරලා නව දැනුම ගොඩනගන්න පර්ෙ‌ය්ෂකයන්ව උනන්දු කරවනවා. ඒක තමයි රටකට වැදගත් වෙන්නෙ. මොකද රටක හැම අංශයකම පර්ෙ‌ය්ෂණ සිද්ධ වෙන්න ඕන. මගේ පර්ෙ‌ය්ෂණ ප්‍රධාන වශයෙන්ම පදනම් වෙන්නෙ සර්පයන්, සර්ප දෂ්ටන, මීමැසි බඹර ආදී සතුන්ගෙ දෂ්ටන සහ ආසාදන මත. ඩෙංගු, මී උණ ආසාදන රෝග තත්ත්වයන් ගැනත් පර්ෙ‌ය්ෂණ සිදු කරලා තියෙනවා. පර්ෙ‌ය්ෂණ සඳහා ලංකාවේ පහසුකම් අඩුයි කියනවට වඩා මම කැමති කියන්න ඒ සම්බන්ධව තියෙන්නෙ වුවමනාව පිළිබඳ ප්‍රශ්නයක් කියලා. පර්ෙ‌ය්ෂණ කරන්න පහසුකම් තියෙන්නත් ඕන. ඒවා හොයා ගන්නත් ඕන. කවුරුවත් පහසුකම් දෙනකන් බලන් ඉන්නත් අවශ්‍ය නෑ. උනන්දුව තියෙනවා නම් පර්ෙ‌ය්ෂණ කරන්න පුළුවන්. මෙවැනි ඇගයීම් හරහා ගෝලීය වශයෙන් ලංකාවට පිළිගැනීමකුත් ලැබෙනවා. 


සම්මානිත මහාචාර්ය සරෝජ් ජයසිංහ වෛද්‍ය පීඨය,

කොළඹ විශ්වවිද්‍යාලය


පර්ෙ‌ය්ෂණ ශ්‍රේණිගත කරන විවිධ ක්‍රමවේද තියෙනවා. ශ්‍රේණිගත කරන්නෙ කොහොමද කියන එක විද්‍යාත්මකව ගත්තොත් විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙන තේමාවක්. උපුටා ගැනීම් සිදු කර ඇති ආකාරය අනුව ශ්‍රේණිගත කිරීම් සිදු කරනවා. ඒ කියන්නෙ මම පළ කරපු පර්ෙ‌ය්ෂණ වාර්තාවක් හෝ ලිපියක් වෙනත් පර්ෙ‌ය්ෂකයන් විසින් කොතරම් දුරට උපුටා ගෙන තියෙනවද කියන කාරණයට තමයි මේ ශ්‍රේණිගත කිරීම්වලදි ප්‍රමුඛාවධානයක් ලබා දෙන්නෙ. මම වැඩිපුරම පර්ෙ‌ය්ෂණ කරලා තියෙන්නෙ පද්ධති ප්‍රවේශ (System approach) පිළිබඳව. ස්වාභාවිකව සහ සමාජමය වශයෙන් ගත්තහම ඒවා පද්ධති වශයෙන් සලකන්න පුළුවන්. මම ඒ සම්බන්ධයෙන් පර්ෙ‌ය්ෂණ (Concept paper) ලියලා තියෙනවා. මම හිතන විදියට මේ ඇගයීමේදී ඒවායෙන් කරලා තියෙන උපුටා ගැනීම් තමයි සැලකිල්ලට ලක් කරලා තියෙන්නෙ. පද්ධති ප්‍රවේශ පිළිබඳ සංකල්පය භාවිත කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය අධ්‍යයන අංශයත් දායක කරගෙන අපි කොවිඩ් 19 වසංගතය ගැනත් බොහෝ පර්ෙ‌ය්ෂණ සිදු කළා. මම අන්තර්ජාතික විද්‍යා කවුන්සලය සමගත් වැඩ කරලා තියෙනවා. නාගරීකරණ සෞඛ්‍ය සහ යහපැවැත්ම සඳහා පද්ධති ප්‍රවේශ අධ්‍යයනය පිළිබඳව තමයි එයින් වැඩිවශයෙන් පර්ෙ‌ය්ෂණ සිදු කෙරෙන්නෙ. එම කෂේත්‍රය ඉතාමත් වැදගත්. මොකද වර්තමාන ලෝක ජනගහනයෙන් සියයට 50 ක් පමණ ජීවත් වන්නේ නාගරික ප්‍රදේශවල නිසා. එම ආයතනය සමග මම අවුරුදු හයක් තිස්සේ පර්ෙ‌ය්ෂණ කරලා තියෙනවා. 


පර්ෙ‌ය්ෂණ සඳහා ලංකාවේ පහසු පරිසරයක් තියෙනවද කියන ප්‍රශ්නයට මම කාරණා තුනක් මත පිළිතුරු සපයන්න කැමතියි. පළවැනි එක තමයි මුල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම. දෙවැනි එක ලැබෙන මුල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීමට යෑමේදී මූණ දීමට සිදු වෙන ප්‍රශ්න. එකක් තමයි පර්ෙ‌ය්ෂණවලට අවශ්‍ය උපාංග ආනයනය කරද්දි තියෙන ප්‍රශ්න. තුන්වැනි එක තමයි නව නිපැයුම් ලියාපදිංචි කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම. ඒකෙදි පර්ෙ‌ය්ෂකයන්ට බොහෝ ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. 


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මෙත්තිකා විතානගේ ව්‍යවහාරික විද්‍යා පීඨය,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 


ලෝකයේ හොඳම සියයට 2 විද්‍යාඥයන් අතරට ලංකාවෙන් තේරී පත් වෙලා ඉන්න අය අතර මගෙ නමත් තියෙනවා. ලංකාවෙන් තේරී පත්ව සිටින විද්‍යාඥයන් අතර ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ මගේ නම සඳහන් වීම ගැනත් මට සතුටුයි. 2020 වසර සඳහා නිකුත් කරපු හොඳම විද්‍යාඥයන් සියයට දෙකෙහි ලැයිස්තුවෙහි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙන් තේරී පත් වෙලා හිටියෙ තුන් දෙනෙක් විතරයි. ඒත් මේ අවුරුද්දෙ එම සංඛ්‍යාව 5 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නෙ අපේ විද්‍යාඥයන් දක්ෂ ලෙස වැඩ කරලා තියෙන බව. ඒ වගේම තමයි 2020 වසරෙ හොඳම විද්‍යාඥයන් සියයට 2 හි ලැයිස්තුවෙහි නම ඇතුළත් වෙලා තිබුණු ශ්‍රී ලංකා විද්‍යාඥයන් ප්‍රමාණයට වඩා 2021 වසරෙ වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වෙලා ඉන්නවා. ආර්ථික හා සමාජ අර්බුද මැද්දෙ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් ඉතාම උත්සාහවන්තව කටයුතු කරලා රටට කීර්තියක් ගෙනැවිත් තියෙනවා. 


පාරිසරික විද්‍යාව වායුගෝල දූෂණය පස දූෂණය සහ ජල දූෂණය ගැන තමයි මම පර්ෙ‌ය්ෂණ කළේ. ඊට අමතරව දේශගුණ විපර්යාස, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, මයික්‍රො ප්ලාස්ටික් ගැනත් මම පර්ෙ‌ය්ෂණ සිදු කරනවා. 


කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ පරපෝෂිත වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා 


ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මුලින්ම ජීවිත කාලය පුරාවටම විද්‍යාඥයන් විසින් සිදු කරලා තියෙන පර්ෙ‌ය්ෂණ සලකා බලලා තමයි සියයට 2 හොඳම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව සකස් කළේ. ඊට පස්සෙ එක් එක් අවුරුදුවල පළ කරලා තියෙන පර්ෙ‌ය්ෂණ පත්‍රිකා සහ ලිපි මත පදනම්ව ලෝකයේ හොඳම විද්‍යාඥයන්ගේ ලැයිස්තුවකුත් හදලා ප්‍රසිද්ධ කළා. අවුරුද්දෙන් අවුරුද්දට යාවත්කාලීන වන විදියට තමයි ඒක කරන්නෙ. ඒ ආයතනය මුලින්ම නිකුත් කරපු විද්‍යාඥයන්ගෙ ලැයිස්තුවෙත් ඉන් පසු වාර්ෂිකව නිකුත් කරපු වාර්තාවලත් මගේ නම ඇතුළත් වෙලා තිබුණා. මගේ විෂය වෙන්නෙ පරපෝෂිත වෛද්‍ය විද්‍යාව. ඒ ක්ෂේත්‍රය ඇතුළත මම වැඩිපුරම පර්ෙ‌ය්ෂණ සිදු කරලා තියෙන්නෙ ළමයින්ගෙ පණු රෝග සම්බන්ධයෙන්. අවුරුදු 20 ක කාලයක ඉඳන් මම ඒ ගැන පර්ෙ‌ය්ෂණ සිදු කරනවා. ඒ වගේම මම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග වගේම වෙනත් රටවල විද්‍යාඥයන් සමගත් සම්බන්ධ වෙලා සහයෝගී පර්ෙ‌ය්ෂණ කරලා තියෙනවා. මම තනියෙන් කරපු සහ වෙනත් අය සමග කරපු පර්ෙ‌ය්ෂණවලට අදාළව පළ වුණු පත්‍රිකාවලින් උපුටා ගත් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ලංකාවේ විද්‍යාඥයන් මේ විදියට ගෝලීය මට්ටමින් ඇගයුමට ලක් වෙන එක හොඳයි. 


ලංකාවේ පර්ෙ‌ය්ෂණ සඳහා තියෙන පහසුකම් දුර්වලයි කියන කතාවේ සත්‍යතාවක් තියෙනවා. බොහෝ වෙලාවට ලංකාවේ විශ්වවිද්‍යාලවල කටයුතු අධ්‍යාපනය ලබා දීමට පමණක් සීමා වෙලා තියෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. නමුත් මම හිතන්නෙ අපි විශ්වවිද්‍යාලය කියන නම භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම පර්ෙ‌ය්ෂණ සිදු කළ යුතුයි. අපේ වගකීම තමයි නව දැනුම ගොඩනගන එක. අපිට ඒකෙන් බැහැර වෙන්න බෑ. ලංකාවේ පර්ෙ‌ය්ෂණ සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නෙ නෑ. වෙනත් රටවල් හා ආයතන සමග සම්බන්ධ වෙලා සිදු කරන පර්ෙ‌ය්ෂණ සඳහා විද්‍යාඥයන් උනන්දු කරවන වටාපිටාවකුත් ලංකාවේ නැති තරම්. ඒ තත්ත්වය වෙනස් කරන්න අපි උත්සාහ කරනවා. 

 

 

 

සටහන - උපුල් වික්‍රමසිංහ