අප රට රටක් වශයෙන් හැඳින් විය හැකි සියලු නිර්ණායක රටට අහිමි වෙමින් තිබෙන සෙයකි. ඒ බවට ඉඟිදෙන පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ප්‍රවෘත්තියේ සිරස්තලයෙන් එම ඉඟිය මනාව උළුප්පා තිබිණි. එම සිරස්තලය නම් ‘වැට් එකෙන් ජනවාරියේ සිට බස් ගාස්තුව ඉහළට’ යන්නය.
ජනවාරි මාසයේ සිට වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි බස් සංගම් ප්‍රකාශ කරන බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් බස් රථවල අමතර කොටස් සහ සේවා ගාස්තු ඉහළ යනු ඇති බවය. වැට් බදු සංශෝධනයත් සමඟ බස් රථයක මිල රුපියල් ලක්ෂ 30කින් පමණ ඉහළ යනු ඇතැයිද වැට් බද්ද සමඟ ඉන්ධන මිලද ඉහළ යනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.
2024 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙහි එක් යෝජනාවක් වනුයේ වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමය. එළැඹෙන ජනවාරි 1 වැනිදා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව 2024 වසර මෙරට සාතිශය බහුතරයක් ජනයාට ඉතා තීරණාත්මක වසරක් බවට පත්වීම අනිවාර්ය වේ.
මෙරට බහුතරයක් ජනයා ජීවත්වන්නේ අතිශයින්ම බරපතළ ආර්ථික පීඩනයකට මැදිවය. මිනිසා සතු පරම ධනය සතුට යැයි කීවද වසර ගණනාවක් මුළුල්ලේ මෙරට ජනයාට එම සතුට අහිමි වී තිබේ. තත්ත්වය කොතෙක් බරපතළ දැයි කිවහොත් එළවළු දෙක තුනක් සමඟ බතක් පිස ගැනීම මෙරට ජනයාට නපුරු හීනයකි. ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ගොස් තිබෙන බව අප පුවත්පතේම ප්‍රවෘත්තියකි.
විදුලිය බිල්පත මරණ වරෙන්තුවක් බවට පත්වී තිබේ. ජල බිල්පතද එසේමය. ඉහළ ගිය කිරිපිටි මිල ආයේ පහතට ආවේ නැත. ගෑස් මිලද සැලකිය යුතු ගණනකින් ඉහළ යනු ඇතැයි කියැවේ. ඒ පෝලිමට අලුතෙන්ම එකතුවී තිබෙන්නේ බස් ගාස්තුවය.
මෙරට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වාහනයෙන් ගමන් බිමන් යාම අතහැර බොහෝ කල්ය. ඒ ඉන්ධන ගාස්තුව දරා ගැනීමට නොහැකිවීම හා වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙනි. පහුගිය කාලයේදී ‘ටයර්’ එකක් සොයා ගැනීම කළුනික සොයා ගැනීමක් බඳුවිය. එහෙයින් පොදු ප්‍රවාහන සේවයේ පිහිට පැතීම හැර අන් විකල්පයක් නොවීය. දැන් කියැවෙන්නේ බස් ගාස්තුවද ඉහළ යන බවය.
මිනිසාට ජීවත්වීමට අවශ්‍ය පන්නරය, ශක්තිය ලබාදෙන්නේ බලාපොරොත්තුවලිනි. එහෙයින් මිනිසා අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත්වේ.
ඒ සියලු බලාපොරොත්තු කෙසේ වෙතත් යම් ප්‍රමාණයක් හෝ ඉටුකර ගත හැකි පරිසරයක් රටක් තුළ තිබිය යුතුය. මේ වසරේදී නොහැකි වූවත් ඊළඟ වසරේ හෝ එම පියවරට යා හැකිවේය යන විශ්වාසයක් මිනිසාට තිබිය යුතුය. එහෙත් දැන් තියෙන්නේ ඊළඟ වසරේදී නොව මේ කල්පයේ කිසිම බලාපොරොත්තුවක් ඉටුකර ගත නොහැකි ශාපලත් පරිසරයකි. මෙම ඉච්ඡාභංගත්වය සමාජයේ යහපැවැත්මට මාරාන්තික බව හඳුනා ගන්නේනම් එය ඉතා යහපත් වනු ඇත.
(***)