ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනි දා සිට ක‍්‍රියාත්මක වන පරිදි ජනපති නියමයෙන් විසිරුවා හැරි බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීයැයි පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. ඒ සමගම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ තනතුරද අහෝසි වනු ඇතැයි ද වාර්තා විය.
යුද්ධයෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ගැන වැඩි කතා බහක් ඇති වූයේ කොළඹ සුපිරි සූදුපොළ වැටලූ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 23 දෙනා ස්ථාන මාරු කිරීමත් සමගය.
වැටලීම් කළ නිලධාරීන්ගේ ස්ථාන මාරුව පිටුපස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට සම්බන්ධ නිලධාරියකු සිටින බවට චෝදනා එල්ල විය. බූරුපොළ වැටලූ නිලධාරීන් මාරු කිරීම පිටුපස සිටින ප‍්‍රබල හස්තය -හුලා” නම් පුද්ගලයකුගේ බව මාධ්‍ය වාර්තා කළේය.
බූරු පොළ වැටලූ කොළඹ සංවිධානාත්ම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසි හතර පැයක් ඇතුළත හතර අතේ මාරු කිරීමට කිසිවකුගේ බලපෑමක් උඩ සිදු නොවූවක් බවත්, ඊට විවිධ හේතු මුල් වූ බවත් කියමින් එම ස්ථාන මාරු සාධාරණීය කරණය කිරීමට ද පිරිසක් උත්සාහ ගත්හ. එම උත්සාහ ව්‍යර්ථ කරමින් නිලධාරීන් මාරු කළේ බූරු පොළ වැටලූ නිසාම බවට සමාජයේ විවිධ තරාතිරම්වල උදවිය තවම සපථ කරමින් සිටිති. සාර්ථක වැටලීමකින් පසු වැටලීම කළ සියලූ පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළැයි පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය විය හැකිය.
ආන්දෝලනාත්මක වැටලීමෙන් පසු එම කතා බහ සමාජයෙන් මැකී යන්නටත් මත්තෙන් නොවැම්බර් 18 වැනි දා යළි එය වැටලීය. කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ එම වැටලීමෙන් දස දෙනෙක් අත්අඩංගුවට ගත්හ. ඒ සමගම පිරිසක් චෝදනා කළේ කලින් වැටලීම කළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම ගැන පොලිසියට එල්ල වූ චෝදනා වසා ගන්නට මේ වැටලීම කළ බවයි.
රටේ මහත් ආන්දෝලනයකට තුඩු තුන් නොවැම්බර් 04 වැනි දා වැටලීමෙන් පසු නැවත බියක් සැකක් නැතිව සූදුපොළ ආරම්භ කිරීම පිටුපස සිටින හස්තය කුමක්දැයි පොලිසියට සොයා ගැනීමට නොහැකි විය.
සූදුපොළ පවත්වාගෙන යන ස්ථානය ආසන්නයේ පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන ලෙස පොලිස්පති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පසුගිය 20 වැනි දා නිවේදනය කළේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ මීට පෙර පස් වතාවක් සූදුපොළ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අවස්ථා පහකදී වැටලීම් කළත් සූදු පොළ නැවත්වීමට පොලිසියට නොහැකිවී ඇති බව එයින් පෙනී යයි. සූදුපොළ කරවන්නන් පොලිසිය සෙල්ලමකට ගෙන ඇති බවක් ගම්‍ය වන්නේ පොලිසිය කියන ආකාරයකට 2010 වසරේ සිට මේ දක්වා අවස්ථා කිහිපයකදී සූදුපොළ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තත් සූදු පොළ දිගින් දිගටම ක‍්‍රියාත්මක කරන බැවිනි.
සූදුපොළ වැටලූ සංවිධාන්තමක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම හා සූදු පොළ වැටලීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි. අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඊට පෙර කරන ලද ඉල්ලීමක් මත එහි නිලධාරීන් ස්ථාන මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ දෙදෙනකු වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සහ එහි නිලධාරීන් දීර්ග කාලයක් එකම ස්ථානයේ කටයුතු කිරීම නිසා ස්ථාන මාරු කළ බව ද පොලිසිය කියයි.
එය සම්පූර්ණයෙන්ම සාවාද්‍ය බව සිද්ධිය අග සිට මුලට දත් පොලිස් නිලධාරීහු කියති. පොලිසිය පවසන නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට පත් වූයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරද්දී නොව තාවකාලික ස්ථාන මාරුවක් ලැබ වෙනත් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කරද්දීය. දීර්ඝ කාලයක් එකම ස්ථානයේ කටයුතු කිරීම නිසා ස්ථාන මාරු කළා යැයි කීම මුසාවක් බව තතු දත්තෝ කියනුයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට පැමිණ වසරක්වත් සම්පූර්ණ නොවූ උපපොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු ද ස්ථාන මාරු ලැබූවන් අතර සිටින බැවිනි.
මීට කාලයකට පෙර අපරාධ විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නිර්දේශයක් අනුව කළ බව කියන ස්ථානමාරු සූදු පොළ වැටලීමත් සමගම ක‍්‍රියාත්මක වූයේ කෙසේද යන්න ඊළඟට නැගෙන ප‍්‍රශ්නයකි. විවිධ වැරදි සඳහා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත් අවස්ථා රැසක් පසුගිය කාලයේ වාර්තා වුවත් ඔවුන් අනුයුක්ත පොලිසිවල සියලූ නිලධාරීන් ස්ථාන මාරු කිරීමක් නොවිණි. එසේ නම් කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන අංශයට සිදුවූයේ කුමක්දැයි තවමත් ගැටලූවකි.
කෙසේ වෙතත් වැටලීම කළ පොලිස් නිලධාරීන් හතර අතේ ස්ථාන මාරු කිරීම පිටුපස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මස්ථානයට සම්බන්ධ පුද්ගලයකු සිටින බවට චෝදනා එල්ල විය. එම චෝදනා නිසාවෙන් හෝ වෙනත් හේතුවක් නිසාවෙන් හෝ එම මධ්‍යස්ථානය විසිරුවා හමාරය.
සීසීකඩ ස්ථාන මාරු කළ කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන හා දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ ස්ථාන මාරු අවලංගු කර නැවත ඔවුන් සිටි ස්ථානයටම අනුයුක්ත කරනු ඇත්ද? සාධාරණය පතන විශාල පිරිසක් ඒ දෙස විපරමෙන් සිටිති.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාගේ නිවේදනයේ මෙසේ සඳහන් විය.
කොළඹ පුරහල ආසන්නයේ සූදු පොළ මීට පෙර අවස්ථා හයකදී වටලා ඇත. 2010 ජූලි 6 වැනි දා කොම්පඤ්ඤ වීදිය පොලිසියෙන් ද, 2012 ජනවාරි 08, 2012 පෙබරවාරි 02 සහ 2012 මැයි 28 කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ද, 2013.07.02 සහ 2013.11.04 වැනි දා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් ද වැටලීම් කර තිබේ. නමුත් ඉහත කිසිදු අවස්ථාවක නිලධාරීන් මාරු කිරීමක් කර නැත.
එමෙන්ම මේ සූදුපොළ පවත්වාගෙන යන ස්ථානය ආසන්නයේ නිරන්තරයෙන් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත පොලිස්පති විසින් උපදෙස් ලබා දී ඇති අතර එම ස්ථානයේ සූදු ක‍්‍රීඩාවේ යෙදුනහොත් වැටලීම් කරන ලෙස තවදුරටත් උපදෙස් ලබා දී ඇත.