ෆේස්බුක් හිරකිරීමේ විපාක


(නිලූක සඳුන් බණ්ඩාරනායක)
 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය බලාපොරොත්තුවන්නේ නොසන්සුන්තාව පාලනය කිරීමයි. නමුත් මෙවන් වාතාවරණයකදී කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාල වාරණය නොව නොසන්සුන්තාව පාලනය සඳහා නිසි අයුරින් සමාජ මාධ්‍ය ජාල  භාවිත කිරීමට සැලසුම් යෙදීමය. නමුත් ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමට පමණක් සති තුනක් ගත්   ආණ්ඩුව කුඩා ගැටුමකදී පවා ක්ෂණයෙන් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පියවර ගත්තේය.
 
1777 අංකයට ගන්නා ඇමතුමකදී පටිගත කළ හඬ පටයකින්, “විදුලි සංදේශන නියාමන කොමිසමේ නියෝගය පරිදි ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ, ස්නැප්ටැට්, ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ්  වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු සීමා කර ඇති බව කරුණාවෙන් සලකන්න” යැයි කියැවිණි.


මින් දැඩි බලපෑමක් එල්ල වන්නේ තොරතුරු දැනගැනීම සහ මිතුරන් සමග සංවාදයේ යෙදෙන්නට සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන්නන්ට නොව, ව්‍යාපාර කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල යොදාගන්නා ව්‍යාපාරිකයන්ටය. ඔබ දන්නා පරිදි සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යාපාර කටයුතු (Online Shopping and etc) විශාල ප්‍රමාණයෙන් සිදුවෙයි. සම්පූර්ණයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් පමණක් සිදු කරන ව්‍යාපාර කටයුතු ද එමටය.   හංදියක සිදුවෙන සුළු ගැටුමකදී පවා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන ව්‍යාපාර අද වන විට සම්පූර්ණයෙන් අඩාල වන තත්ත්වයකට පත්ව තිබේ. තව දින කිහිපයක් යන විට මෙවන් ව්‍යාපාර නවතා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගත වීමටද ඉඩ ඇත. ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් දේපල හානි වන සහ ව්‍යාපාර අඩාල වන ව්‍යාපාරිකයන්ට රජයෙන් වන්දි ලැබුණද අන්තර්ජාල මගින් සිදුවන ව්‍යාපාර සදහා රජයෙන් සතයක්වත් ලැබෙන්නේ නැත. රජය දන්නේද නැත.


 පෙර දැනුම්දීමකින් තොරව අන්තර් ජාලයම අවහිර කරයි

රජයේ අලුත් සෙල්ලම පෙර දැනුම්දීමකින් තොරව නොසන්සුන්තාවන් ඇති වන ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමයි. එවන් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාල හරහා පමණක් නොව අන්තර් ජාලය හරහා ව්‍යාපාර කටයුතු හා එවන් කටයුතු සිදුකරන පුද්ගලයෝ පීඩාවට පත්වෙති. 

සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යපාර කටයුතු කරන එක් ආයතනයක හිමිකරුවකු පැවසුවේ ෆේස්බුක් හරහා තමන් සිදුකරගෙන ගිය ව්‍යාපාර කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි. ෆේස්බුක් හරහා ලැබූණු ඉල්ලුම (Online Orders) 90%කින් පමණ පහත වැටී ඇති බවත් දිනෙන් දින එය තවත් පහළට වැටෙමින් පවතින බවත් ඔහු පැවසීය. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් තම ව්‍යාපාරය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවන බවත් හෙතෙම පැවසීය. 

 

පවතින තත්ත්වය හේතුවෙන් තමා සේවය කරන ආයතනයේ රැකියාව අවදානම් මට්ටමක පවතින බවත්, කවදා තම රැකියාව අහිමි වේදැයි තමන් බියෙන් පසුවන බවත්  තවත්  අන්තර්ජලාය හරහා ව්‍යාපාර කරන ආයතනයක සේවකයෙක් පැවසීය. පවතින තත්ත්වය ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් වුණහොත් තමාට මෙන්ම අන්තර්ජාලය හරහා ව්‍යාපාරකටයුතු කරන ආයතනවල සේවය කරන සේවකයින්ටත් රැකියා අහිමිවීමට ඉඩ ඇති බව ඔහු පැවසීය. රජය මෙම තත්ත්වය කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු නොවන අයුරින් ඉතා ඉක්මණින් විසඳිය යුතු බව ඔහු අවධාරණය කළේය. 

ෆේස්බුක් තහනම් කිරීමෙන් පමණක් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව රජය සිතා සිටින්නේ නම් එය මුලාවකි. අන්තවාදී පිරිස්වලට මෙවන් සිද්ධි ඇති කිරීමට ෆේස්බුක් අවශ්‍ය නැත. කඩකප්පල්කාරීන් එක මාධ්‍යයක් නැතිවන විට තවත් මාර්ග සියයක් සොයාගනී. නමුත් ව්‍යාපාරිකයන්ට එවැන්නක් නැත. ඔවුන්ට ෆේස්බුක් නැති වුවහොත් තවත් මාධ්‍ය සොයා යන්නට අපහසුය. ව්‍යාපාර කිරීමට නම් වැඩි පිරිසක් සිටින මාධ්‍යයක් තෝරාගත යුතුය. එයට හොඳම තැන ෆේස්බුක්ය. කලහකාරී සිද්ධි ඇතිකරන්නන්ට ෆේස්බුක්ම අවශ්‍ය නැත. රජය තේරුම්ගත යුතු සරල සත්‍යය මෙයයි. රජය කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාල නිසි පරිදි හසුරවමින් පවතින තත්ත්වයන් පාලනය කිරීමට එය යොදාගැනීමයි. තොරතුරු වසන් කරන්නට යාමෙන් වන්නේ අසත්‍ය තොරතුරු පැතිරීම වැඩි වීමයි. නමුත්   රජය කරන්නේම තොරතුරු වසන් කිරීමයි. ඉන් සිදුවන්නේ වැරදි තොරතුරු තව තවත් පැතිරවීම වැඩිවීමයි. ඒ සඳහා ෆේස්බුක්ම අවශ්‍ය නැති බව සාමාන්‍ය මහජනතාව දනී.  

කලහකාරී සිද්ධිවලින් ව්‍යාපාර කටයුතු අඩාල වූවන් ගැන සිතනවා මෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යාපාර කරන ආයතන ගැන සිතා මෙම තත්ත්වය පාලනයට ඉතා සාධාරණ ක්‍රියා මාර්ගයක් රජය ගත යුතුය. ෆේස්බුක් තහනම් කිරීමෙන් සිදුවන්නේ ෆේස්බුක් මෙන් තවත් සාමාජ මාධ්‍ය ජාලයකට දොර හැරීම පමණි.

 

 සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් එය නිසි පරිදි භාවිත කළ යුතුය. අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් තොරව එය පවත්වාගැනීම ඔවුන්ගේ යුතුකම සහ වගකීමයි. එය වෛරය, ජාතිවාදය පැතිරවීමට නොව සාමය, සමගිය පැතිරවීමට භාවිත කළ යුතුය. එසේත් නැතිනම් රජය සමාජ මාධ්‍ය ජාල VPN භාවිතයෙන්වත් පිවිසීමට නොහැකි වන පරිදි අවහිර කර දමනු ඇත. සමහර විට එය අද හෙටම වන්නට ඉඩ ඇත. එයින් වාසිය රජයට ලැබෙන අතර අවාසිය හිමි වන්නේ මහජනතාවටමය.

මේ වන විට රටේ කොටස් වෙළෙඳපොළ ද    ආපස්සට ගොස් ඇතැයි වාර්තා විය.   ඊයේ (15) වන විට කොටස් මිල දර්ශකයේ ඒකක ගණන 5199.98ක් දක්වා පහත වැටී තිබේ. එය 2012 අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගයයි. ඊයේ දින පමණක් ඒකක 23.71කින් දර්ශකය පහත වැටී ඇති අතර මෙලෙස අඛණ්ඩව ඒකක පහත වැටුණු 10 වැනි දිනයයි. ඒ අතින් රට වසර හතකින් ආපස්සට ගොස් සිටින අතරම රටේ ආරක්ෂක තත්ත්වයද හරියටම වසර 10කින් ආපස්සට ගොස් තිබේ. 2009 මැයි 18 අවසන් වූ යුද්ධයට වසර දහය පිරෙද්දී   නැවතත් බෝම්බ බියෙන් සිටින ජාතියක් බවට පත්වී ඇත.

වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් ද සිදුවන්නේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට වසර දහයකට ආපසු ගොස් නැවත එස්එම්එස් ගසන්නටය. සමාජ මාධ්‍ය  ඔස්සේ සහ  අන්තර්ජාලය  ස්සේ ව්‍යාපාර කරන්නන්ට ව්‍යාපාර අතහැර දමන්නටය. එසේ බලන විට අපි වසර ගණනක් ආපස්සට ගොස් හමාරය.