අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි


(සුජිත් හේවාජූලිගේ)

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි.

ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව  සඳහා වෙන්කිරීම් සාම්ප්‍රදායිකව කරගෙන එන් ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරටත් පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණි.

කලට වැසි ලැබී කෙත් වතු සරුසාරවන්නට සොබාදහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදය අපෙක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවි ජනතාව අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රයට එක් වූහ.