උත්තර දේවී ගමන් අරඹයි


 


 

 ( ලහිරු හර්ෂණ )
 
 කොළඹ - යාපනය කන්කසන්තුරේ උත්තර දේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව අද (27) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.
 
 එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
 උත්තර දේවි දුම්රියට යොදවන නව බලවේග කට්ටය ආනයනය කළේ ඉන්දියාවෙන් වන අතර  එහි මැදිරි සංඛ්‍යාව හයකි.
 
 එයින් වායු සමනය කළ පළමු පංතියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවැනි පංතියේ මැදිරියක්ද මෙම දුම්රියට අයත් වේ.
 
 පළමු පංතියේ මැදිරියේ ආසන 52ක් ඇත. දෙවැනි පංතියේ ආසන 64කි. තුන්වැනි පංතියේ එක් මැදිරියක ආසන 152ක් වේ. ඒ අනුව මෙ දුම්රියෙන් එකවර ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 724 කි.
 

 පොල්ගහවෙල, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර, මැදවච්චිය, වව්නියා, මාන්කුලම්, කිලිනොච්චි, පලෙයි, කොඩිකාමන්, යාපනය සහ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා වූ සියලු දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වනු ලබයි.
 
 මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්හට ජී. පී. එස් තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී තමන් බැසීමට බලාපොරොත්තුවන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු කලින් දැනගැනීමේ හැකියාවක්ද පවතී.