කතරගමට නව වෙළඳ සංකීර්ණයක්


(කේ. ඩී. දේවපි‍්‍රය) 
            
කතරගම නගරයේ අවිධිමත් ‍වෙළඳ සංකීර්ණ ඉවත් කර එම ව්‍යාපාරිකයන් සඳහා නව වෙළඳ සංකීර්ණයක් ඉදිකර අද (30) අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
            
කතරගම නගරය වෙත දිනපතා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්වන අයුරින්  කතරගම සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
 
මෙම වෙළඳ සංකීර්ණය රුපියල් මිලියන 430 ක වියදමක් දරා අදියර 3 ක් යටතේ ඉදිකෙරෙන අතර, එහිදී ව්‍යාපාරික ස්ථාන 321 ක් ඉදි කිරීමට නියමිතය.
 
2019 සිට 2030 දක්වා කාලය තුළ කතරගම නගරය, පුජාභුමිය, වැඩිහිටිකන්ද පුදබිම, සෙල්ල කතරගම මහසෙන් රාජමහාවිහාරය, සෙල්ල කතරගම වල්ලිමාතාගල්ලෙන් විහාරය ඇතුළු පුදබිම් හා රථගාල්, වන්දනා බැතිමතුන්ගේ නවාතැන්පොළවල් වැනි ස්ථාන මෙම ව්‍යපෘතිය මගින් සංවර්ධනය කෙරේ.
 
මහා නගර හා බස්නාහිර  සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංවර්ධන යෝජනා මත මෙය ක්‍රියාත්මක කෙරේ.
 
මෙම වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි, කතරගම ප‍්‍රදේශීය සභාවේ සභපති චානක අමල් රංගන,  කතරගම  දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ යන මහත්වරු, කතරගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු කතරගම ප‍්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.