කල්අඩියේ ඇතා හොරෝව්පතානට


හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා

කල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිළධාරින් විසින් නිර්විදනය කර අල්ලා ගනු ලැබු ඇතා හොරෝව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යාම අද (3) සිදුවිණි.

පසුගිය 29 වැනි දා කොට්ටුකච්චිය කිවුල අංක 4 ගම්මානයේ 68 හැවිරිදි කාන්තාවක් නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේ දී මරා දමා තිබු බව වනජිවී නිලධාරින් පවසයි.

එසේම මෙම ඇතා ගම්මාන වලට කඩා වැදී භෝග වගාවන් වනසමින් ජනතාව භීතියට පත්කරමින් සිටින බවද කියයි.

වනජීවී පශු වෛද්‍ය දොස්තර චන්දන ජයසිංහ මහතා පැවසුවේ මෙම ඇතා අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන බවත් උස අඩි නවයකට ආසන්න බවයි. 

වනජිවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා මෙම ඇතා ඊයේ (2) අලුයම කල්අඩිය සිමෙන්ති ගම ගම්මානයේ සැරිසරමින් සිටියදී වනජීවී පශු වෛද්‍ය එච්.ඒ.ඉසුරු ලොකුහෙට්ටි   මහතා ඇතුළත් කණ්ඩායම නිර්වින්දන එන්නත් ‍කර අල්ලා ගෙන තිබු අතර එසේ අල්ලා ගත් ඇතා අද වනජීවී නිලධාරින් විසින් හොරෝව්පතානට රැගෙන යාම සිදුවිණි. 

කෙසේ නමුත් ඇතා රැගෙන යන අවස්ථාවේ 500 කට ආසන්න ජනතාවක් එය දැක බලා ගැනීමට ද පැමිණ තිබිණි. එසේම ඇතා බැද දමා තිබු ස්ථානයට කොස්, අඹ ඇතුළු පළතුරු රැගෙන විත් ඇතාට ලබාදෙන ආකාරයත් රැගෙන යාමට පෙර ඇතා නැවීමට අවශ්‍ය ජලය ලබාදීමටද කටයුතු කර තිබිණි. 

ඡායාරූප - රෝවන් පෙරේරා