කල්පිටිය ඉලංතඩියේ නිවාස 20 ක් ජලයෙන් යටවෙයි


(රෝවන් පෙරේරා )   

කල්පිටිය ඉලංතඩිය ප්‍රදේශයේ වෙරළාසන්නයේ පිහිටි නිවාස 20 ක් පමණ ජලයෙන් යටවී තිබේ.

දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාවත් සමඟ මෙම තත්වය උදාවූ බව ධීවරයින් පැවසීය.

නිවාස තුළ අඩි දෙකක් පමණ ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එම ජනතාව දැඩි ලෙස පීඩාවට පත් ඇත.

ජලය බැස යාමට තරම් ප්‍රමාණවත් ක්‍රමවත් කාණු පද්ධතියක් නොතිබීම හේතුවෙන් පිරී පවතින ජලය මුහුදට මුදා හැරීමට නොහැකි වී ඇති බව කියයි.

ප්‍රදේශයේ ජනතාව එක්ව බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉලංතඩිය නොරච්චෝල පනිඅඩිය මාර්ගය හරහා ඇලක් කපමින් පිරී පවතින ජලය මුහුදට මුදා හැරීමට පියවර ගත්තද එය ප්‍රමාණවත් නොවන බවත් රජය මැදිහත් වී ඒ සඳහා  ස්ථීර ලෙස නිසි ක්‍රමවේදයකට ජලය බැස යාමට සලස්වා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටී.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන ගුණතිලක මහතා පැවසුවේ වැසි තත්වය හේතුවෙන් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වී සිටින බවත් ඒ අයට සහන සැලසීමට කටයුතු කරමින් සිටින බවත්ය.