කුරුණෑගලත් මහා පිරිස් මහ පාරේ


(අජන්ත රත්නායක)

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවටත්, ආණ්ඩුවේ ජනපීඩක වැඩපිළිවෙලටත් විරෝධය දක්වමින් දෙදහසකට ආසන්න පිරිසක්  කුරුණෑගල නගරයේදී අද දහවල් විරෝධතාවක නිරත වූහ.

කිසිඳු දේශපාලන පක්ෂය සාමාජිකයන් නොවන තරුණ තරුණයන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය හරහා මෙම විරෝධතාවය සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. ආරම්භයේ දී තිස් දෙනකුගෙන් පමණ ආරම්භ වූ විරෝධතාවයට පැයක් පමණ ගතවනවිට දෙදහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.

විරෝධතාවය පැවැත්වෙන අතරතුර ව්‍යාපාරිකයන්, කුලී රථ රියැදුරන් , රජයේ සේවකයින්, ගෘහණියන් ආදී විවිධ තරාතිරම්වල පිරිස් ස්වේච්ඡාවෙන්ම පැමිණ ඊට එක්වූහ. කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය විහාරාධිකාරී වීරපොකුණේ සුමංගල හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද මෙම විරෝධතාවයට වැඩම කර සිටියහ.

විරෝධතාවය පැවැත්වෙන ස්ථානයෙන් ගමන් ගත් වාහනවල රියදුරන් විසින් නලා හඬවමින් විරෝධතාවයට සහාය පළකළහ.

සියයකට ආසන්න නිලධාරීන්ගෙන් යුත් පොලිස් බලඇණියක් විරෝධතාවය පැවැති ප්‍රදේශය සහ ඒ අවට රාජකාරිවල යොදවා තිබිණි.