කුල දරුවෝ 50 දෙනෙක් ශාසනයට


(කාංචන කුමාර ආරියදාස )

ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් 50  දෙනෙකු  පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (4) ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහ විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයෙහි දී  සිදුකෙරිණි.

රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ සංකල්පයක් අනුව කුල දරුවන් සසුන් ගත කිරීම සිදුකෙරේ.

කුල දරුවන් 50 දෙනෙකු මෙසේ සසුනට ඇතුළත් කිරීම රන්ගිරි දඹුල්ල රජමහා විහාරයේ දී අස්ගිරි හා මල්වතු පාර්ශව අනු නාහිමිවරුන්ගේ හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රන්ගිරි දඹුලු රජ මහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී  වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේ සිට දඹුලු විහාරය දක්වා කුළ දරුවන් පෙරහරකින් රැගෙන විත් දෙමාපියන් වන්දවා ආගමික වතාවත් ඉටුකර මහණ කිරීම සිදු කෙරිණි.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමියන් කියා සිටියේ වර්තමානයේ ජනතාව මහා සංඝරත්නය කෙරේ පමණක් විශ්වාසය තබා තිබෙන මොහොතක් බවයි. රට රකින  හමුදාව හා පොලිසිය මෙන් අද මහා සංගරත්නය ද හමුදාවක් බවයි.

මාතලේ දිස්ත්‍රික්කයේ   පිහිටුවන ලද සාමග්‍රී  භික්ෂු බල මණ්ඩලය මෙය සංවිධානය කරනු ලබන බවත්  සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සමගියෙන් භික්ෂූන් වහන්සේලා වැඩ හිඳීම අරමුණු කරගෙන මෙම  පැවිදි පිංකම කරන බව සංවිධායකයෝ පවසති.

මීට වසර 37 කට ඉහතදී දඹුල්ල වළගම්බා පිරිවනෙහි 50 නමක් පැවිදි කිරීමේ උත්සවයෙන් පසුව 50 දෙනෙකු දරුවන් පැවිදි බිමට පත් වීමේ උදාර පින්කම සිදු කෙරෙන බව විහාරාධිපති හිමියෝ පවසති.

දිවයින පුරා බොහෝ වෙහෙර විහාරස්ථාන පන්සල් පැවතිය ද භික්ෂූන් වහන්සේලා නොමැතිව ඒවා විනාශ මුඛයට ගමන් කරමින් තිබෙන බවත් එම නිසා සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යෑමට මෙරට බුද්ධපුත්‍රයන්ගේ අඩුවීම බරපතල ලෙස වර්තමානයේ දැනෙමින් පවතින බවත් කඩිනමින් මෙය පුරවා නොගතහොත් ඉදිරි කාලයේ බෞද්ධයන්ට විශාල අනතුරකට මුහුණ පෑමට සිදුවන බව රන්ගිරි දඹුල්ල රජමහා විහාර සහ විෂ්ණු දේවාලයේ බාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුලු රජමහ විහාරස්ථ මැද පන්සලේ විහාරාධිපති  අඹගස්වැවේ රාහුල නාහිමියෝ සඳහන් කළහ.