ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත


(ඉන්දිකා රාමනායක)

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර  සටන් කළාව නගා සිටුවීම සඳහා සන්නද්ධ හමුදාවක් වශයෙන් ප්‍රථම වතාවට ගුවන් හමුදාවේ  සක්‍රිය දායකත්වය දක්වා ඇති බව ගුවන් හමුදාව පවසයි.

හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් මත  මෙම  සටන්  කටයුතු  සිදු වන  බවද ගුවන් හමුදාව පවසයි.

මෙම සටන් කළාව 1505-1948  වසරවල මේ රට පාලනය කළ  ඉංග්‍රිිසින්ට හා ලන්දේසීන්ට අභියෝගයක්  පැවතීම  හේතුවෙන් 1818 වසරේ  ඔක්තෝබර් මස 06 දින ඉංග්‍රිසින්  විසින් මෙම  කළාව සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අංගම් කළාව  එසේ තහනමට ලක් වී  අද (06) දිනට වසර 204  සපිරේ.

ජාතික වටිනාකමක් ඇති මෙම පාරම්පරික සටන් කළාව නැවත  නගා සිටුවීම සදහා සීතාවක රාජ්‍ය  සමයේ සටන් පෙළපත වු කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්ත මහන්තආරචිචි  මහතා සමග ශ්‍රි ලංකා  ගුවන් හමුදාව 2012  වසරේ දී  ගුවන් හමුදාව සන්නද්ධ හමුදාවක් තුළ ප්‍රථමවරට අංගම්පොර සංචිතයක් ස්ථාපනය  කර ඇත.

හමුදා පුද්ගලයකු   හට අවි  ආයුධ   පුහුණුව මෙන්ම   ආත්ම ආරක්ෂක සටන්  පුහුණුව  ප්‍රගුණ කිරීම  ඉතා වැදගත් බවත්, මෙම  සටන් කළාව හැදිරීම තුලින් අවි ආයුධ පරිහරණය  කිරීමට  අපහසු ස්ථානයක දී හෝ අවියක් නොමැති අවස්ථාවකදී වුවද මහජන ආරක්ෂාව    තහවුරු කිරීමට හැකියාව ඇති බව  ගුවන් හමුදාව පවසයි.

මෙම සටන් කළාව ගුවන් හමුදාව වෙත හදුන්වා දීමත් සමග ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ  බලකා  ගුවන් භටයින්  සහ විශේෂ ගුවන්  විහිදුම්   බලකා  භටයින්   මෙම කළාව   ප්‍රගුණ කර  කරන අතර ගුවන් හමුදවේ මේ වන විට අංගම්පොර   සටන් කරුවන් 40  දෙනකු   පමණ කණ්ඩායමක් සාර්ථකව පුහුණුව ලබා ඇති බව ගුවන් හමුදාව පවසයි.