තද සුළඟකින් ආණමඩුවේ ගෙවල් 100 ට හානි


හිරාන් ප්‍රියංකර ජයසිංහ

ආණමඩුව හා මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අද  (1) හමා ගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ හානි සිදුව මාර්ග ගණනාවකට ගස් කඩා වැටී ගමනා ගමනයටද බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.  

තද සුළඟත් සමඟ ගස් නිවෙස් මතට කඩා වැටී විශාල හානි සිදුව තිබූ බවත් ඒ සමඟම මාර්ග මතටද ගස් කඩා වැටීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පැයකට  ආසන්න කාලයක් අවහිර වී තිබූ බවත් පුත්තලම ආපදා කළනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.

ගස් කඩා වැටීමෙන් ගම්මාන 20 කට වැඩි ප්‍රමාණයකට සම්පුර්ණයෙන් විදුලිය ඇණ හිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති පාලිත රංගේ බංඩාර මහතා සහ ඔහුගේ පුත් යසෝධ රංගේ බංඩාරද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ සිටියහ.

අවහිර වූ ඉතිරි මාර්ග සහ නිවෙස් මතට පතිත වූ ගස් ඉවත් කිරීම හෙට උදෑසන සිට යුද හමුදාවේ සහය ඇතිව සිදුකරන බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.