දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි


(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ඇරගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානය තුළ ගොඩගැසී ඇති බව වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න  ඇරෑවුල මහතා අද 02  පැවසීය.


දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන සතිපොළ සහ එළවළු අලෙවි කරන ස්ථාන වසා දැමීම, නගර රැසක් හුදෙකලා කිරීම, ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් එළවලු  මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් බෙහෙවින් අවම තත්වයක පැවතීම නිසා එළවලු  තොග අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි  ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම පළාතකින් ම ගොවීන් එළවළු තොග රැගෙන විත් ගොඩගසා ඇති අතර ඒවා සඳහා ඉතා අවම මිලකට  ප්‍රමාණයක් අලෙවි කළ ද එළවළු වලට මිල තක්සේරු කිරීමට හෝ නොහැකි තත්ත්වයක් පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

ඇතැම් එළවළු රැගෙන ආ ගොවීන් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි නිසා නැවතත් ඔවුන් නිවෙස් වලට අස්වැන්න රැගෙන යන ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

උදෑසන සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි ගොවීන් ඒවා මත වාඩිවී ඇතැම් අය නිදාගෙන  සිටින ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයේ සුලභව දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් එළවළු වර්ග රුපියල් 5සිට රුපියල්  20 දක්වා මිල ගණන් යටතේ සීමිත ප්‍රමාණයක් අලෙවි කළ බවත් ගොවීහු කියති.

තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් එළවළු තොග අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හෝ ඒවා මිලදී ගැනීමට වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති  චන්න  ඇරෑවුල මහතා කියා සිටියේ එළවළු කිලෝ ලක්ෂ තිහකට අධික ප්‍රමාණයක් මේ වන විට ගොඩ ගැසී තිබෙන බවත් ඉකුත් පළමුවන දින ඇතැම් වෙළෙන්දන් මිලදී ගත් එළවළු තොග මැනිං මාර්කට් වසා දැමීමත් සමග නැවතත් දඹුල්ලට රැගෙන ආ බවත් එම නිසා දින දෙකක එළවළු තොග මේ වන විට දඹුල්ලේ ගොඩගැසී ඇති බවය . මේ  සඳහා යම්කිසි වැඩ පිළිවෙළක් සාකච්ඡා කිරීමට කඩිනමින් පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.