නියඟයෙන් විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින වියළි කාළගුණ තත්වයත් සමඟ විල්පත්තුවේ විල්ලු 30 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති බවත් අනෙක් විල්ලු වලද ජලය අඩුවී ඇති බවත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු සිඳී යාමත් සමඟ වන සතුන් පිපාසිතව ජලය සොයා වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටින බවද කියයි.

එසේම උද්‍යානයේ තෘණ සියල්ලම පිලිස්සි යාමෙන් වන සතුන්ට තෘණ සොයා සැතපුම් ගණනක් යාමට සිදුව ඇති බවත් වියළී නොගිය තෘණ සොයා ගැනීමට අසිරු බවත් වනජීවි නිළධාරීහු  පවසති.

විල්පත්තුව උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසා සිටියේ ඉදිරි මාසය තුළදී ද වැසි නොලැබුනොහොත් වන සතුන් බේරා ගැනීමට විශාල කැපවීමක් සිදුකිරීම සිදුවන බවයි.

එසේම ඔහු පවසා සිටියේ විල්ලු සිඳී යාම නිසා කෘත්‍රීම කොන්ක්‍රිට් පොකුණු ඉදි කර ඇති බවත් ඒවාට බවුසර් මගින් ජලය දැමීමට කටයුතු කරමින් සිටින බවත්  උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.