පැරිසියේ බක්මහ සිරි


 

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

 
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙලානු  ක‍්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. 
 
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ. ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතා සහ ලාකුරනව් නගරාධිපතිවරයා එක්ව ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කළහ.  සිංහල අලුත් අවුරුදු චරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑම, දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමද සිදුකෙරිණි.
 
දූ දරුවන් සඳහා කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සිඟිති අවුරුදු කුමරු කුමරියන්  තේරීම වැනි තරග මෙහි පැවැත්වුණු අතර උළෙල අවසානයේ පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දරුවන්ගේ නර්තනයෙන් සමන්විත සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
 
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිසියේ ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිසියේ කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා ඇතුළු  රැසක් මීට එක්ව සිටියහ.