පෝදා සීගිරිය නැරඹීමට 7000 ක් එති


(කාංචන කුමාර ආරියදාස)
 කොරෝනා සිද්ධියෙන් පසු දෙස් විදෙස් සංචාරකයන්ට විවෘතවූ   සීගිරිය නැරඹීමට පොහෝදා (04) 7,000 කට අධික දේශීය සංචාරකයන් පිරිසක් පැමිණි  බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
 
 කොරෝනා ව්‍යාප්තිය සමඟ  මාස තුනක කාලයක් සීගිරිය වසා දමා තිබිණි.
 
 පසුගිය පළමුවැනිදා නැවත සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් හට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබිණි.
  
ඒ අනුව  ඇසළ පුන් පොහෝ දිනයේ පමණක් දේශීය  සංචාරකයන් හත් දහසකට අධික පිරිසක් සීගිරිය නැරඹීම සඳහා පැමිණි බවද මෑත කාලයේ සිගිරි නැරඹිම සදහා පැමිණි විශාල පිරිස මෙය බව  මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතා පැවසිය .
 
පැමිණි සියලු දෙනාම සෞඛ්‍ය ආරක්ෂිතව සීගිරි පව්වට ගොඩ කරවීම ශරීර උෂ්ණත්ව පරික්ෂා කිරීම මෙන්ම එම පිරිසට අවශ්‍ය පහසුකම් සපයාදීම ද  සිදුකල බවද ඒ මහතා පැවසිය .
 
 සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් තමන්ගේ මෙන්ම රටේ ආරක්ෂාව ගැන ද සැලකිලිමත් ව ගමන් කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.