මධ්‍යම අධිවේගය වැඩ අධිවේගයෙන්


(තිලකරත්න දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනමින් සිදු වන බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23 ක් උසැති කුලුනු මතින් ඉදිවන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37 කින් යුත් කොටසෙහි කිලෝ මීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදි කෙරෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා  පැවසීය.

කඩවත - මීරිගම කොටස අතර අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විත වන අතර එය ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙන් ඉදි කෙරේ.

ඉදිරි වසර දෙකක කාලය තුල කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කොට ඇති බව සදහන් කළ ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා , මේ සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් යටතේ ලබාගත් රුපියල් බිලියන 158 ක මුදලක් වැය කෙරෙන බවද කීය.

මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබයි.

කඩවත - මීරිගම කොටසෙහි ඉදිකිරීම් කටයුතු අවසන්වූ පසුව ජනතාවට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල සිට කුරුණෑගල දක්වා සෘජුව ගමන් ගැනීමට හැකි වනු ඇත.