මවකගේ බරට දානය


  (තිලකරත්න දිසානායක)


 ජාත්‍යන්තර මව් වරුන්ගේ දිනයට සමගාමීව ගැබිණි මව්වරුන් 50 දෙනෙකු වෙනුවෙන්    " මවක්  බරට දාන පුජාවක් " අද (13) පෙරවරුවෙදී ගම්පහ ජාත්‍යන්තර සාම මහා විහාරස්ථානයේදී පැවැත්විණ.


  රජ සමයේදී රටට සෙත් පතා ඇතුන් බරට මව්වරුන්ට දානය පිළිගැන්වීම සිහිපත් කරමින් ගම්පහ , මැදගම (3) ග්‍රාම නිලධාරී සමන් ප්‍රියන්ත මහතාගේ සංකල්පයකට අනුව පෙර සාම මහා විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුජාව පැවැත්විණි.


 සෝමසිරි නාහිමියෝ අනුශාසනාවක් කරමින් වර්ෂ 1055 දී  පළමුවන විජයබාහු රජු විසින් මෙවන් දාන පුජාවක් පවත්වා ඇති බව අඹගමුව සෙල්ලිපියෙහි සදහන්ව ඇතැයි පැවසුහ.


  ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම දානය සදහා ප්‍රදේශ කිහිපයකින් ගැබිණි මව්වරුන් තෝරා ගන්නා ලදි.
මව් වරුන්ට එක් එක් මවකගේ බරට ආහාර වර්ග , එළවලු , පළතුරු , ඹෟෂධ සහ වස්ත්‍ර පුජාව කරන ලද්දේ තරාදියේ එක් පසෙක මව හිදුවා එම බරට අනෙක් පසට එම ද්‍රව්‍ය පිරවීමෙනි. මෙහි එක් මවක් කිලෝ 77 ක් බර වුවාය.

  මෙම අවස්ථාවට මහා සංඝරත්නය ,  ජනතා නියෝජිතයෝ  සහ රාජ්‍ය නිලධාරීහුද  එක්ව සිටි අතර අවස්ථාව දැකබලා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.