රැඳවියන්ගේ කුසලතා කලඑළි දකියි


(විමුක්ති එස් රුද්‍රිගු)

"ශිල්ප 2022 සිර සරˮ බන්ධනාගාරගත රැඳවියන්ගේ නිර්මාණාත්මක කුසලතා කලඑළි දැක්වීමේ කර්මාන්ත හා  අලෙවි ප්‍රදර්ශණය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදි සිදුවිණි.

බන්ධනාගාරගත රැදවියන් උසස් වටිනා නිර්මාණ ඉදිරිපත් කර තිබීම සතුටුදායක කරුණක්  බවත්, එම තත්වය තවදුරටත් වැඩි දියුණු කරමින් උසස් බන්ධනාගාර පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුර්ණ වෙසකට භාජනය කළ යුතුව ඇති බවත්, ඒ සදහා 1934 වසරින් පසුව ප්‍රථම වරට බන්ධනාගාර රෙගුලාසි වර්තමානයට ගැළපෙන පරිදි සම්මත කර ඇති බවත් එහිදී අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.සිරකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් ප්‍රකාශ කළ පමණින් ඵලක් නොමැති බැවින් ඒ අය දෙස මානුෂිකව සලකා බලා කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

සිරකරුවන් බන්ධනාගාරගත වන වරද හෝ දඩුවම කුමක් වුවත් බන්ධනාගාර නිලධාරීන් සිදු කළ යුතු වන්නේ රැදවියන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වන අතර, ඇතැම් අවස්ථාවන්වලදී සුළු අතපසුවීම් සිදු වුව ද වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැකි උපරිම ආකාරයෙන් සිරකරු අයිතීන් සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බව ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

අද වන විට බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් සීයයට 85 ක්ම මත් ද්‍රව්‍ය සම්බන්ධ රැදවියන් වන අතර එම සංඛ්‍යාවෙන් සීයයට 95 ක්ම මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් බවත්, ශ්‍රී ලංකාව තුළ මත් ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම සදහා මත් ද්‍රව්‍ය මහා පරිමාණ ලෙස ගෙන්වන පුද්ගලයින් හා බෙදා හරින්නන් මර්දනය කළ යුතු බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

මෙරට තුළ මත් ද්‍රව්‍ය මේ තරම් දුරට ව්‍යාප්තවීම සදහා ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ සහාය හිමිවී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.