විනාශයට පත් ගොඩනැඟිලි හදන්න ශ්‍රමදානයක්


(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
නොසන්සුන්තාව හේතුවෙන් විනාශයට පත් මහනුවර දිගන නගරයේ සියලුම ගොඩනැගිලි යථා තත්ත්වයට පත් කිරීමේ මූලික ශ්‍රමදානයක් මහා සංඝරත්නය, ශ්‍රී ලංකා යුද හමුදාව හා කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ විය.

විනාශයට පත්ව තිබූ ආගමික ස්ථාන, ව්‍යාපාර ස්ථාන හා නිවාස පිළිසකර කිරීම සඳහා වූ මූලික අදියරක් වශයෙන් මෙය සිදුවිය.


දිගන වාලුකාරාම විහාරයට රැස්වූ පිරිස බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රමදානය ඇරඹිණි. ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ මූලිකත්වයෙන් මීට සහභාගී වූ දෙසීයකට අධික යුද හමුදා නිලධාරීන් දිගන, කෙන්ගල්ල ආදී ප්‍රදේශවල හානියට පත් සියලුම ගොඩනැගිලි පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළේය.


මෙම ගොඩනැගිලි සියල්ල විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත්, ඒ සදහා වූ ප්‍රථම කාර්යය වශයෙන් කැඩිබිඳී ගිය සුන්බුන් සියල්ල ඉවත් කරන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් ප්‍රධාන අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා වැඩිදුරටත් පැවසීය.