සමනළ වැව පිටාර මට්ටමට


(ප්‍රින්ස් රත්නායක)
 
සමනළ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වර්ෂාව පැවතියහොත් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
 
සමනළ වැවෙහි පිටාර මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 455 ක් වන අතර ස්වයංක්‍රීය නොවන දොරටු  තුනක් මගින් පිටාර මට්ටම පාලනය කරනු ලබයි. 2015 වසරේදී එය පිටාර මට්ටමට පැමිණියද අවසන් වරට සමනළ වැව වේල්ලේ දොරටු විවෘත කරනු ලැබුවේ 2008 වසරේදී ය. සමනළ වැව ඉදිකිරීමෙන් පසු මීට පෙර අවස්ථා 2 කදී  පමණක් වාන් දොරටු විවෘතකර ඇත.
 
මේ වනවිට ජලවිදුලිය නිපදවීමට ටර්බයින් දෙකම ක්‍රියාත්මක කර ඇති අතර ජලමට්ටම පාලනය කිරීම සඳහා වේල්ලේ ඇති ජල පාලකය මගින් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය මුදා හැර තිබේ. එම ජලය ගලා බැසීමට ඉදිකර ඇති ඇළ මාර්ගය උතුරා යමින් පවතී.
 
වාන් දොරටු විවර කළහොත් ඇතිවන තත්වයන්ට අදාළව ආරක්ෂක විධිවිධාන හා පොරෙත්තු සේවා සූදානම් කර ඇති බවත් පහළ  නිම්න හා කල්තොට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.