(සුජිත් හේවාජුලිගේ)
‘මොන ඡන්ද ක්‍රම ආවත් කමක් නැහැ. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
සන්ධානගත වී තරග වැදීමට පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.
‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්ෂ මහතා කීය.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේදී ඊයේ (12) දහවල් පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
බැසිල් රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.
අපේ පක්ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.
නව පක්ෂය නව වැඩ පිළිවෙළක් යටතේ ගෙන යනවා. අපට හොඳ සැලැස්මක් තියෙනවා. පළාත් පාලන ආයතනවල හිටපු අය වගේම අලූත් තරුණයෝ, උගත් අය, කාන්තා පිරිස් අපට අවශ්‍යයි. සියයට 25ක් තරුණයන් වෙනුවෙන් වෙන් කරන්න අපි තීරණයක් ගත්තා. ඉතාම සුදුස්සන් තෝරා ගන්නවා. මේක අලූත්ම ක්‍රමයක්. කොට්ඨාස ක්‍රමය මීට කලිනුත් තිබුණා. කවුරු මොනවා කිව්වත් මනාප ක්‍රමයට මුල් වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. අපි ඒ අභියෝගය බාර ගත්තා.
දැන් අපේ ක්රමයම වෙනත් විදියකට ගෙනල්ලා. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු තිබුණත් මේ වෙලාවේ ඡන්දය අවශ්‍යයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න කියලා කාන්තාවන්ට, තරුණයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට ආරාධනා කරනවා. හුඟක් අය පක්ෂ අපිත් සමග තරග කරන්න කැමැත්ත පළ කරලා තියෙනවා.
පොදු ජන පෙරමුණ තවත් පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින පක්ෂ සමග. ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය යනාදී පක්ෂ ඒ අතර තියෙනවා. මීට අමතරව නැගෙනහිර පළාතේ පිල්ලෙයාන්ගේ ටී.එම්.ටී.පී. සමග සාකච්ඡා කළා. ජනතා සේවක පක්ෂය යනාදි පක්ෂ සමගත් කතා කරනවා. ද්‍රවිඩ ජාතික සන්ධානයට විරුද්ධ පක්ෂ සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. අපි උතුරටත් තරග කරනවා.
අපිට මේ වනවිට සාමාජිකයන් වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන්ද විශාල පිරිසක් එකතු වුණා. දේශපාලනය නොකරපු අය පවා එකතු වී සිටිනවා. සමහර ගම්වල සියයට 85 ක් දක්වා සාමාජිකයන් බැඳිලා තියෙනවා. ශ්‍රී ලනිප සාමාජිකයන් සියයට සියයක්ම බැඳුණු ගම් ද තියෙනවා. පළාත් පාලනය වාර්තා තබමින් ජය ගන්නවා. ප්‍රාදේශීය සභා 335 න් 154 ක් එදත් ජයග්‍රහණ කළා. ඊට අමතරව තවත් 60ක් විතර අපට දිනන්න පුළුවන් වේවි. දෙසීය පන්නන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.
අපි ගෙනාපු මැතිවරණ පනතට සියලූ පක්ෂ එකඟ වුණා. ඇමැති අද එක එක කතා කියනවා. ක්‍රමයක් හදපු එක වෙන්නැති අපි කරපු වැරැද්ද. මේ පනත හැදුවේ පක්ෂ එක්ක සාකච්ඡා කරලයි. පාර්ලිමේන්තු තුනක් තුළ සාකච්ඡා කළා. හැමෝම අත ඉස්සුවා. එහෙම එකක් හැදුවට වෙන්නැති බණින්නේ. බහු ආසන වැඬේ ඕන කෙනෙක් කරනවා. දැනුත් වෙනවා. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලැහැස්තියි. බැට් එක වෙනුවට පොල් පිත්තක් දුන්නත් අපි ගහනවා. එක විකට් පොල්ලට බෝල් කරන්න කිව්වත් ඒකත් කරනවා. අපි ඕන ක්‍රමයකට ඡන්දයට යන්න සූදානම්. අපි අඩුපාඩු කියන්නේ නැත්තේ ඒකයි.
මහින්ද රාජපක්ෂ කියන්නේ දක්ෂ, පළපුරුදු රාජ්‍ය නායකයෙක්. මගෙන් උපදෙස් ගන්න එතුමාට වුවමනාවක් නැහැ. නමුත් සහෝදරයන් විදියට අපි ඔහු ළඟ හිටියා. ගත්තු හැම තීන්දුවක් පිටුපස්සේම අපි ඉන්නවා. වැරදිච්ච දේවල්වල වගකීම අප බාර ගන්නවා.
මේ ආණ්ඩුවේ ගොඩක් අයගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුවෙන්ම දැන් ඒවා හෙළිවෙනවා. වංචාවකට සම්බන්ධ වන ලිට්රෝ ගෑස් සභාපති මේ රටේ ජනාධිපති නියෝජනය කරන පක්ෂයේ සභාපති. ඒක බරපතළ තත්ත්වයක්. බැඳුම්කර කොමිසම මේ ආණ්ඩුව පත් කරපු එකක්. ආණ්ඩුවේ අය ඒකට ස්වෙච්ඡාවෙන්ම ඇවිත් සාක්ෂි දෙන එක තමයි හොඳ. අපේ බන්දුල ගියේ කැමැත්තෙන්මයි. කවුරු හරි කොමිසම මඟ හරිනවා නම් ඒක හොඳ නැහැ.
”සමහර මාධ්‍යය මොන චෝදනා කළත් මම උත්තර දෙන්නේ නැහැ. අපි දඩාවතේ යන බල්ලකු හැපුවට බල්ල හපන්න යන්නේ නැහැනේ. මම ඕවාට උත්තර දෙන්නේ නැහැ. එයාල ඇයි මට ගහන්නේ. මම කියපු දේකට කලබල වෙලයි. කරන්න ඕන මම කියපු දේ හොයන එකයි. හැම මාධ්‍යයකටම මම ගරු කරනවා.
අපි වෛර දේශපාලනයක් කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ වැරැුදි කරපු අයට නිදහස දෙනවා කියන එක නොවෙයි. දැන් මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන දඩයමක්. ටී.බී. ඒකනායක ඇමැතිතුමා ආණ්ඩුවෙන් යනවා කිව්ව විතරයි පරික්ෂණයක් පටන් ගත්තා. ඒ හොඳ දෙයක් නොවෙයි. නමුත් ජාතික සම්පත් කොල්ලකාලා තියෙනවා නම් ඒ ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි.
ඡන්දයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ක්‍රම තුනක් අධ්‍යයනය කරගෙන යනවා. අපි තරග කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ ආශිර්වාදය ඇතිව. ඒක ප්‍රතිපත්ති මාලාවක්, එක මැතිවරණ වැඩපිළිවෙළක් යටතේ තරග වදිනවා. ගෝඨාභය මෙතෙක් මැතිවරණවලට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජාතික ප්‍රශ්නයක් ආවොත් එතුමා මැදිහත් වේවි. එළිය සංවිධානය තුළින් දැනටමත් ඒ වැඬේ කරනවා. මේ මැතිවරණය අපි ජනමත විචාරණයකට සමාන කරලා කටයුතු කරනවා.
ඒ වේදිකාවේ ඉඳල ගෝඨාභය සහාය දේවි. ඡන්ද වේදිකාවට නැග්ගේ නැති වුණාට එතුමා 2005 දී එහෙම අපේ වැඩපිළිවෙළේ ඉදිරියෙන්ම හිටියා. අපි සහෝදරයෝ මහින්ද එක්ක 1970 ඉඳල හිටියා. අපේ හැමදාම ලකුණ පොහොට්ටුව. පොහොට්ටුව කවදාකවත් පරවන්නේ නැහැ. කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම අපට කරගන්න බැරිවුණු දෙයක්. මේකෙදි අපේක්ෂත්වය අනිවාර්ය කරලා.
අපි බලාපොරොත්තු වුණේ කාන්තා නියෝජනය අනිවාර්ය කරයි කියලයි. නමුත් ආණ්ඩුව කරපු දේ ජයග්‍රහණයක්. ඒ ගැන රජයට ස්තූතිවන්ත වෙනවා. නමුත් තරුණ නියෝජනය නැති කිරීමටත් රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරින්ගේ ප්‍රජා අයිතිය නැති කිරීමටත් කටයුතු කළා. ප්රජාතන්ත්රවාදය පැත්තෙන් මෙය දරුණු පහරදීමක්. ක්ෂේත්‍ර නිලධාරින් ලක්ෂ ගණනකට තරග වැදීමට තිබූ අයිතිය නැති කළා. අපේ හිටපු මන්ත්‍රීවරුන් පන්සිය ගණනකගේ අපේක්ෂකත්වය මේ නිසා නැතිවුණා. අප ඒ ගැන නීති මගින් කටයුතු කරනවා. ඒක මහා අපරාධයක්. ඡන්දයේදී අපි ඒක ජනතා අධිකරණයට ගෙන යනවා.
මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය:-
ආණ්ඩුවෙන් පිරිසක් ගන්න යනවා කියලා ආරංචියි.
රාජපක්ෂ මහතා:-
ඒවා ඉතින් වෙලාවට සිද්ධ වේවි. ඕවා කිය කියා කරන දේවල් නොවෙයි. ආප්ප න්‍යාය වගේ. කලින් කිව්වොත් අසාර්ථක වෙනවා. නමුත් අපි ඊට වැඩියෙන් බලාපොරොත්තු වන්නේ ඡන්දයෙන් බලය ගන්නයි. ඔළු ගෙඩි මාරු කිරීම වෙනත් වැඩවලට යොදා ගත්තත් මැතිවරණ සඳහා ඒක වැඩිය බලාපොරොත්තු වන්නේ නැහැ.
ප්රශ්නය:-
අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ස්ථාවරය.
රාජපක්ෂ මහතා:-
අපි මුළුමනින්ම මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. මේක යටි අදහසකින් කරන වැඩක්. මේකෙන් රට දෙකට බෙදීම පමණක් නොවෙයි ජාතික සමගිය නැතිවීම පවා වෙනවා.