ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ශ්‍රීලනිපය සමගි කරන්න දෙන්නේ නෑ


(විනීතා එම් ගමගේ)

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ දැඩි වුවමනාවක් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයින්ට ඇතත් ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පිරිස් ඊට බාධාකරන්නේ යැයි බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළේය. 

ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡාවට මහ ඇමැතිවරුන්ට යන්නට අවසර දුන්නේ ඒ නිසා බවත් එහෙත් එහි ගියවිට සාකච්ඡාවට සිටියේ ශ්‍රීලනිප පාක්ෂිකයන් නොව වෙනත් කණ්ඩායම් බවත් හෙතෙම පැවසීය. 

තමන් විශ්වාස කරන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙපාර්ශවය එක් විය යුතු බව යැයි කී දේවප‍්‍රීය මහතා දෙපාර්ශවය අතර එකඟතා වලට තමන් විරුද්ධ  නැතැයි ද කීය.

පක්ෂයට සමගිවන්නට ඉඩ නොලැබෙන තවත් හේතුවක් වන්නේ ඒකාබද්ධ  විපක්ෂයේ සමහරුන් එජාප නායකයින් සමඟ ඇති කරගෙන ඇති ‘‘ ඩීල් ’’ යැයි කී ප‍්‍රධාන අමාත්‍යවරයා අපි මේක කඩල දෙන්නම් අපේ පවුලෙ කවුරුවත් හිරේ දාන්න එපා යැයි එකඟතා පවතින්නේ යැයි ද කීය.

මේ දෙපාර්ශවයේ ම දේශපාලඥයින් ගම්වලට ගියවිට සමගි වන්නැයි පාක්ෂිකයින් බල කරන බව බෙදුණොත් වෙන දේ ඔවුන් පවසන්නේ යැයි ද  දේවප‍්‍රිය මහතා පැවැසීය.

ඉසුර දේවප‍්‍රිය මහතා මේ අදහස් පළ කළේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවක දීය.