ඒකාබද්ධය කිඹුල් කඳුළු හළනවා - ඇමැති ගයන්ත


ඩයනා උදයංගනී

ඒකාබද්ධ විපක්ෂයේ අය දේශපාලන වාසි තකා රණවිරුවන් ගැන කියා කිඹුල් කඳුළු හෙළමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, ඔවුන් රණවිරුවන්ට සැලකූ දෙබිඩි පිළිවෙත හිටපු යුද හමුදාපති   සරත් ෆොන්සේකා, මේජර් ජෙනරාල් ජානක පෙරේරා වැනි අයට සැලකූ ආකාරයෙන් හෙළිවන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

 ඕනෑම හමුදාවක, ඕනෑම ආයතනයක කවුරුන් හෝ වැරදි ක්‍රියාවකට සම්බන්ධ වුණා නම් ඒ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම, නීතිය ක්‍රියාත්මක වීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බව කී අමාත්‍යවරයා අතීතයේදීත් එවැනි දේ සිදුව ඇතැයි සඳහන් කළෙAය.

 රණවිරුවන්ගේ ගෞරවය රැකෙන්නේ වැරදි කළ අයට දඬුවම් දීමෙන් බව කී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රණවිරුවන්, දේශපාලනඥයින් හෝ මාධ්‍යවේදීන් ආදී සෑම ක්ෂේත්‍රයකම වැරදි කරන අයට දඬුවම් නොදුන්නොත් සියලූ දෙනා වැරදිකරුවන්ගේ ගොඩට වැටෙන බව ද කියා සිටියේය.

 අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.