කුඩා ජල විදුලි බලාගාරවලට බලපත් දීමේදී නවීන තාක්ෂණය යොදා ගත යුතුයි


කුඩා ජල විදුලි බලාගාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ දී නවීන තාක්‍ෂණය ඒ සඳහා උපයෝගී කරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (20) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදුකෙරෙන පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට  එක්වෙමිනි.

දැනටමත් දේශීය කුඩා ජල විදුලි බලාගාර පද්ධතිය ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට එකතුවන මෙගාවොට් 340ක ධාරිතාව, මෙගාවොට් 550 ක් දක්වා වර්ධනය කිරීම සඳහා ඇති ඉඩප්‍රස්ථා හඳුනාගැනීම, දේශීය ජල විදුලිබලාගාර සංවර්ධකයින් අදාළ ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුවලදී මුහුණදෙන අභියෝග, පුනර්ජනනීය විදුලිබල නිෂ්පාදන ජාතික ඉලක්ක ඉටුකිරීම සඳහා වූ නව ක්‍රමවේදය හඳුනාගැනීම, පාරිසරික සමතුලිතතාවය රැකෙන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා නව ක්‍රමවේද හඳුනාගැනීම වැනි කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය.

ගැටලු ඇති ව්‍යාපෘති හඳුනාගෙන අදාළ රාජ්‍ය ආයතනවල වෙනම කමිටු පත්කර ගනිමින් එම ගැටලුව විසඳීමට පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

මහවැලි සංවර්ධන  හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීහු ද කුඩා පරිමාණ ජල විදුලිබලාගාර සංවර්ධකයන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක්ද මෙම හමුවට එක්ව සිටියහ.