(නිමල කොඩිතුවක්කු)
“ග්‍රාමීය මෙන්ම නාගරික වැඩසටහන් මගින් නිවාස ඉදිකිරීම සදහා රට තුළ විශාල වැඩපිළිවළක් ක්‍රියාත්මක බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී පැවසීය.
‘මෙමගින් නිවාස ප්රශ්නය විසඳීමට මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීමටත් හැකියාව ලැබෙන්නේ යයි’ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමිනි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය - 2018 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
“මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරට සහභාගී වන සමාගම් මුණගැහිලා ඒ අධිවේගී මාර්ගයේ ප්‍රගතිය බලන්න ළඟදි දවසක මට අවස්ථාවක් ලැබුණා. ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගයක් ඉදිකරන්න භාරගෙන අද එම කටයුතු සාර්ථකව කරගෙන යනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කටයුතු කරන සමාගම් නියෝජිතයන් හමුවීමට මෙන්ම එහි ප්‍රගතිය සොයා බැලීමට මෑතකදී මට අවස්ථාව ලැබුණා. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම් ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු කිරීම පිළිබඳ මා ඉතා ආඩම්බර වෙනවා. ඒවගේම දෙවැනි අදියරේ වැඩ කලට වේලාවට අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
වසර ගණනාවක් විදේශීය ඉදිකිරීම් සමාගම් සමග සම්බන්ධ වී ක්‍රියා කළ නිසා ලංකාවේ අපට මේ කටයුතු කිරීමට ශක්තිය මෙන්ම හැකියාව තිබෙනවා. මේ දියුණුව ඉදිරියට ගෙනයාම සඳහා පහසුකම් සැලසිය යුතුයි.
ආර්ථික දියුණුවත් සමග අධිවේගී මාර්ග පමණක් නොව විවිධ ක්ෂේත්රවල ඉදිකිරීම් කෙරෙනවා. මේ නිසා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනය වෙනවා.
ඊළඟ දශකය තුළ පෞද්ගලික අංශයේ ඉදිකිරීම් කටයුතු මීට වඩා දියුණු කරමින් එහි වැඩි ප්‍රගතියක් ප්‍රතිශතයක් ඉදිකිරීම් ක්ෂේත්රය වෙනුවෙන් ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පෞද්ගලික අංශය දිරිගැන්වීමට ක්‍රියා කරනවා.
මෙහිදී අපේ අවධානය තවත් ක්ෂේත්රයක් වෙත යොමු වෙනවා. ඒ නිවාස ඉදිකිරීම් සම්බන්ධවයි. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තම පියා ආරම්භ කළ ග්‍රාමීය නිවාස වැඩසටහන මේ වන විට ඉදිරියට ගෙනයමින් සිටිනවා. අද ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව ගමට පමණක් සීමා වී නැහැ. ගමෙන් තව ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා අපි ග්‍රාමීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
නමුත් යුද්ධය නිසා විනාශ වූ ප්‍රදේශ තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවගේ ඉල්ලීම් ද තිබෙනවා. නාගරිකරණය මෙන්ම අර්ධ නාගරීකරණයද ශීඝ්‍රයෙන් වෙනවා. ඒ නිසා අවට ඉඩම් කුඩා කැබලිවලට වෙන් වෙනවා. එය ගැටලුවක් වෙලා.
කෙසේ හෝ නාගරික ඉදිකිරීම්වලට ප්‍රමුඛත්වය දීමටත් අප ක්‍රියා කරනවා. ඒ සඳහා මහ නගරය තුළ අඩු ආදායම්ලාභීන් යළි පදිංචිකිරීමේ වැඩසටහන වේගවත් කර ඒ සඳහා අවශ්‍ය මුදල් දීමට ක්‍රියා කරනවා. ඒ යටතේ විශාල සංඛ්‍යාවකට නිවාස දීම මගේ බලාපොරොත්තුවයි.
ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට රජයේ මුදල්වලට අමතරව ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවෙන් (්ෂඊ) ඩොලර් මිලියන 200 ක් ගෙන තිබෙනවා. ඒ සඳහා අපේ ඉදිකිරීම් ආයතන සහභාගි කර ගනිමින් විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
මේ සමගම උතුරු ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අපි විශාල මුදලක් දුන්නා. එහි සමහර ස්ථානවල යම් ප්‍රමාද සිදුවෙලා. මේ වන විට ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් කොටසකට මුදල් දීලා. ඉදිරියේදී ඉතිරි කොටසට ද ඉක්මනින් දීමට කටයුතු කරනවා.
යුද්ධය නිමාවී මේ වන විට වසර 10 ක් ගතවී තිබෙනවා. එහිදී නිවාස අහිමිවූවන්ට මේ යටතේ නිවාස දීම අපේ බලාපොරොත්තුවයි.
ඊළඟ පියවර වන්නේ වතුකරයේ ජනතාවට නිවාස දීමයි. වතුකරයේ සේවය කරන ජනතාවට ඉඩම් නැහැ. නිවාස ද නැහැ. ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුයි. ඉන්දීය අගමැති මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ වතුකරයේ ජනතාවට නිවාස සහ ඉඩම් වෙනුවෙන් මුදල් දීමට එකඟතාව පළ කළා. දැන් ඒ වැඩකටයුතු ආරම්භ කෙරෙනවා.
වැවිලි සමාගම් සමග සාකච්ඡා කර ඉඩම් ගැනීමටත්, එසේ ඉඩම් නොලැබෙන ප්‍රදේශවලට රජයෙන් ඉඩම් දීමටත් දැන් ක්‍රියා කරගෙන යනවා. ඒ සමගම නැවත මධ්‍යම පාන්තිකයින් සඳහා නිවාස ණය දීමේ වැඩසටහන අප ආරම්භ කළා.
දැන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය මුදල් දීමට ක්‍රියා කරනවා. දැනට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් එහි කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා.
මේ ආකාරයට ග්‍රාමීය පමණක් නොව විශාල නාගරික වැඩසටහන් මගින් නාගරික ජනතාවට නිවාස දීමටත්, වතුකරයේ ජනතාවට නිවාස දීමටත් ක්‍රියා කරනවා. ඒ තුළින් රටේ නිවාස ප්රශ්නය විසඳීමටත්, ඉදිකිරීම් ක්ෂේත්රය දියුණු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඒ සමගම අද කර්මාන්ත ක්ෂේත්රයේ විශාල ඉල්ලීමක් වන්නේ මිනිස් බලයයි. අපේ රටේ තරුණ තරුණියන්ගෙන් ඒ ප්රශ්නය විසඳීමට අපේක්ෂා කරනවා.
අද ඉතා වැදගත් දිනයක් බව මෙහිදී මා මතක් කළ යුතුයි. ත්‍රස්තවාදය පරාජය කර, යුද්ධය අවසන් කර සාමය ළඟාකර ගැනීමට කැපවූ සියලු රණවිරුවන් සිහිපත් කරනවා. ඒවාගේම යුද්ධය නිසා ජීවිත අහිමිවූ අහිංසක ජනතාව ද මේ අවස්ථාවේ සිහිපත් කරනවා” යයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීවේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා
“රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් මේ අවස්ථාවේ සිහිකළ යුතුයි. ඔවුන් සිය ඇස්, ලේ, ඇට, නහර දන්දී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කළ නිර්මල සේවයට අපේ ගෞරවය පුදකර සිටිනවා.
තිස් වසරක යුද්ධය අවසන් කිරීමට දිවි පරදුවට තැබූ වීරෝදාර රණවිරුවන් සදාකල් වැජඹේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. රණවිරු පවුල්වල අනාගතය අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු දෙනා දිවිහිමියෙන් ඇප කැප වෙනවා. සෑම රණවිරුවකුගේම අනාගතය යහ පාලන රජය යටතේ සුරක්ෂිතයි කියා අප කියනවා.
ප්‍රදර්ශනය සංවිධානය කළ දේශීය මෙන්ම විදේශීය කර්මාන්තකරුවන්ට ස්තූතිවන්ත වෙනවා. ඉදිකිරීම් කර්මාන්තය නවමු වැඩපිළිවළක් ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. මේ ක්ෂේත්රයේ සිටින පිරිස් ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමට වෙනවා.
කර්මාන්තය සඳහා ශ්‍රමිකයන්ගේ අඩුපාඩු පිළිබඳ කියැවුණා. ඒ සඳහා විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන එක යෝග්‍ය නැහැ. එය දිගු කාලීන විසඳුම නොවෙයි.
ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා වන නව ප්‍රතිපත්තිය අප හඳුන්වාදී තිබෙනවා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්රයට බලපාන නීති වෙනස් කිරීමට කටයුතු කරනවා”
මේ අවස්ථාව සඳහා මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රන්ජිත් ගුණතිලක, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිස එක්ව සිටියහ.