ගොවීන්ට වන්දි දෙන්නැයි හිටපු ඇමති කියයි


(කාංචන කුමාර ආරියදාස)

මේ වන විට රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවිතැන් රැසක් විනාශ වී ඇති බවත්  ගොවීන්ට වහාම වන්දි ලබා දීම හා ගොවීන්ගේ වගා ණය කපා දැමිය යුතු බවත් හිටපු ගොවිජන සේවා හා වනජීවී ඇමති ස්. එම් .චන්ද්‍රසේන මහතා පැවසීය.

දඹුල්ල පහලවැව ප්‍රදේශයේ ශ්‍රී ලංකා  පොදු  ජන පෙරමුණෙන් තරග වදින  අපේක්ෂකයන් හා ගොවි ජනතාව අමතමින්   මන්ත්‍රීවරයා  මේ බව කීවේය.

මේ වන විට වී වගාව දැඩි ලෙස විනාශ වෙමින් පවතින බවත් තම ආණ්ඩුව  පැවති සමයේ මෙවැනි පොහොර හිගයක් නොතිබුණු බවත් කෙසේ වෙතත් මෙම පොහොර හිගයට පිළියම් යෙදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා රටේ ගොවිතැනට සිදුව ඇති පාඩුව හේතුවෙන් වහාම ආණ්ඩුව  ගොවීන්ගේ බැංකු ණය කපා දැමිය යුතු බවත් ගොවීන්ට වන්දි ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටපුරා ගොවීන් වීරෝධතාවලට එළියට දැමීමට ක්‍රියා කරන බව රජයට අනතුරු අඟවන බවත් ඔහු කියා සිටියේය.