(මොහොමඩ් ආසික්)
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක එක් වී වැඩ කර ගෙන ගියත් තවමත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යාවස්ථා කෙටුම්පතක් හෝ හදා නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
මහනුවර වත්තේගම පිටියේගෙදර රජ මහා විහාරස්ථානයේ නව විහාර මන්දිරය විවෘත කිරීමෙන් පසුව අද 20 සවස පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ කීය.
තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
‘පසුගිය ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපෙක්ෂක කරලා මේ රටේ ජනතාව එතුමා ජනාධිපති වශයෙන් පත් කර ගත්තා. අවුරුද්දක් පුරා අපි කතා කළා කොහොමද එකතු වෙන්නේ කියලා. පාර්ලිම්න්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත් කළා. සෑම පක්ෂයක්ම නියෝජනය වෙන්න කමිටු පත් කළා. ඒ එක්කම අපි ඉදිරියට යන්න නම් ජාතික ආණ්ඩුවක් ඇති කරන්න ඕන කියලා මම එදාම කිව්වා. අපි අතර දේශපාලන වශයෙන් කොපමණ බේද තිබුණත් රට පාලනය කිරීමේදී අපි අතර කිසිම බේදයක් නෑ.
පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි අපි වරමක් ලබා ගත්තා නව ව්‍යවස්ථාවක් හදන්න. ඒ ව්‍යවස්ථාවේ කාරණා කිහිපයක් ඇතුලත් වෙනවා. ඡන්ද ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය, බලය බෙදීම,වගේ කාරණා ගණනාවක් තියෙනවා. එකට වැඩ කරන්න බැරි නම් මේක කරන්න බැරි වෙනවා. අපි 70 දී නව ව්‍යවස්ථාවක් ගේන කොට බෙදුනා. ද්‍රවිඩ පක්ෂ විරුද්ධ වුණා. 78 දී අපි ව්‍යවස්ථාව ගෙනාවා. විධායක ජනාධිපති ධූරයට බණ්ඩාරණායක මැතිණිය විරුද්ධ වුණා. ද්‍රවිඩ පක්ෂ කිව්වා වෙනම රාජ්‍යයක් ඔනෑ කියලා.
දැන් ඒ යුද්ධය ඉවරයි. අපි දැන් කල්පනා කරන්නේ කොහොම එකතු වෙලා වැඩ කරන්නේ කියලයි. අපි තවම කරන්නේ එකතු වෙලා වැඩ කරන එකයි . තවම ව්‍යවස්ථාවක් හදලත් නෑ. කෙටුම්පතක් හදලත් නෑ ඒ මොකක්වත් කරලා නෑ. අපි වුරුද්දක් කතා කළා කොහොමද මෙතැනට එකතු වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවම නියෝජනය වන ආකාරයට ව්‍යවස්ථා සභාවක් පත් කළා. සියලු පක්ෂවල සහභාගිත්වයෙන් කමිටුවක් පත් කළා. බලය බෙදීම සම්බන්ධයෙන් මොනවා කිව්වත් දකුණේ මහ ඇමතිවරුත් ඇවිත් කිව්වේ උපරිම වශයෙන් බලය බෙදන ලෙසයි.ඒවා ගැන බලල වාර්තා හදල තියෙනවා. ඉතිරි කාරණා ගැන සාකාච්ඡා කිරීටත් තිබෙනවා.‘‘