(මොරොන්තොට එන්. ආරච්චි)
වසර 70 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, ඒ දෙකම එකතු වෙලාත් රට පාලනය කළා. ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයන් පත් කළා. පසුගිය ඡන්දයට කලින් මේ දේශපාලනඥයන් ජනතාවට කීිවා රටට සෞභාග්‍යය උදා කරනවා, ජනතාවගේ ආර්ථිකය නගා සිටුවනවා කියලා.
එහෙම කියලා මාස දෙක යන කොට ආණ්ඩුව කියපු ඒවා අමතක කළා. එම නිසා දේශපාලනය එපා කියන මතයක් ගොඩ නැගුණා. මේ රටේ බලය වැරැදි කණ්ඩායමකට දීලා තියෙනවා.
එම නිසා දේශපාලනඥයන් එපා කියමු මිස දේශපාලනය එපා නොකියමු. එම නිසා නිවැරදි දේශපාලනඥයන් තෝරා ගනිමු යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා (24) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ බුලත්කොහුපිටිය, හාතාගොඩ ප්‍රදේශයේ ඉකුත්දා පැවැති ජන හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.
පෙබරවාරි 10 වැනි දින දෙන ඡන්දය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්, වගකීම් සහගතව ලබා දෙන්නක්. වසර 70 ක් ජනතාව ඡන්දය පාච්චි කරලා ජනතාවගේ අපේක්ෂා ඉටු වෙලා නෑ. 2015 දී එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දු ඉටු කරන්න බැරි වෙලා. වසර 5 න් 3 ක් ඉවරයි. රනිල් වික්‍රමසිංහ හොරු අල්ලලා හිරේ දාලා ඒ දේපළ පවරා ගන්නවා කීවා. හොරු ඇල්ලුවද අල්ලනවා වෙනුවට හොරු ආරක්ෂා කළා.
එක්සත් ජාතික පක්ෂය කීවා රැකියා ලක්ෂ 10 ක් දෙනවා කියලා. ඉරාන් වික්‍රමරත්න නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කියනවා එයින් ලක්ෂ 4 ක් දැනටමත් හදලා ඉවරයි කියලා. ඉදිරි වසර 2 ක කාලය තුළ ඉතිරි රැකියා ලක්ෂ 6 හදනවාලු. කාටවත් රැකියා ලැබුණා ද? නමුත් මේ ගම්වල ලැබිලා නෑ.
පාසල් ළමයින්ගේ නිල ඇඳුම 2015 දී ලබාදුන් කූපන් මුදලමයි අද 2017 දීත් දෙන්නේ. රෙදිවල වටිනාකම වැඩිවෙලා. නමුත් කූපනයේ එකම මුදලයි. ළමයින්ගේ පොත් රජයෙන් දුන්නා. අද වෙනකොට ඉන් බාගයයි දෙන්නේ. ඉතුරු බාගේ කඩෙන් ගන්න වෙලා.
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව බැරි වෙලාවත් එක්සත් ජාතික පක්ෂය දිනුවොත් එක්සත් ජාතික පක්ෂය කියයි මහ බැංකුව හොරකම් කළාය. බුලත්කොහුපිටිය ජනතාව ඒක අනුමත කරලා තියෙනවා. එහෙම කියලා සමෘද්ධි බැංකුවත් කඩා ගෙන යයි. පාසල් ඇඳුම කැපුවට ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නොත් ජනතාව ඊට එකඟයි කියලා සමෘද්ධියත් කපයි. මේ ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළොත් හම්බන්තොට වරාය විකුණුවාට කමක් නෑ කියලා කොළඹ වරායේ නැගෙහිර පර්යන්තයත් දෙයි.
මේ රටේ අද තියෙන්නේ හවුල් ආණ්ඩුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ. එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඡන්දය දිය යුත්තේ ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද නැහැ. ඒ පක්ෂයේ ඉන්න බැසිල් රාජපක්ෂ පිළිබඳව අධිකරණයක දී කියන්න අවස්ථාව එනකල් ඉන්නේ. පසුගිය වසර 15 ක පමණ කාලයක් මේ රට පාලනය කරපු අය ඒ පක්ෂය ඇතුළේ ඉන්නේ. අඩුම තරමේ ගමේ පාරක් හැදුවේ නැති අය ජී.එල්. පිරීස් මහතා අද කියනවා අද රට බෙදන්න යනවා කියලා. එදා එල්ටීටීයට අන්තර් පාලන යෝජනාව ගෙන ආවේ ජී.එල්. පීරිස් මහත්තයා. එහෙම කරපු කෙනා අද කියනවා රට බේරා ගන්න ඒ අයට ඡන්දෙ දෙන්න කියලා.
ජනාධිපතිවරණයේ දී 2015 ජනවාරි 8 ට කලින් කීවා බටහිර ජාතීන් මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවට ගෙනියන්න සූදානම් වෙනවා කියලා. එහෙම කියලා එහි වාසිය ලබා ගන්න කටයුතු කළා. දැන් වසර 3 ක් ගියා අද විදුලි පුටුව කෝ. තමන්ගේ හොර මැර වහගන්න උපයෝගි කරගන්නවා දේශප්‍රේමිත්වයක්. හිටපු ඇමැතිවරු මත්පැන් බාර්, මත්පැන් නිෂ්පාදනාගාර තියෙන අය. විමල් වීරවංශ 2010 සිට 2015 දක්වා ලක්ෂ 740 ක් උපයා ගැනීම පිළිබඳව අල්ලස් කොමිසමෙන් නඩු දැම්මා. මා ලඟ තියෙනවා ඔහුගේ මාසික විදුලි බිල විතරක් එක් ලක්ෂ විසි දහසක. වැටුප හැට පන් දහසයි. වැටුප මදි විදුලි බිලටවත්. මෛත්‍රී, රනිල්, ජීඑල් පීරිස් මේ අය පක්ෂ 3 ක් නෙවෙයි. එක පක්ෂයක අය. මහින්ද රාජපක්ෂ කාලයේ එක්සත් ජාතික පක්ෂයෙන් ගියා ඇමැතිකම් අරගෙන. රනිල් බලයට ආවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආවා ඇමැතිකම් අරගෙන. මේ ඉන්නේ එකම පිරිසක් එහාට මෙහාට මාරුවෙන.
ගම්වල අය ශ්‍රී ලංකා, යූඑන්පී කියලා බෙදිලා. පරම්පරාවේ යුඑන්පී පරම්පරාවෙන් ශ්‍රී ලංකා කියාගෙන ගහ මරා ගන්නවා. දේශපාලන පක්ෂ කියන ඒවා පරම්පරාවෙන් එන්නේ නෑ. එහෙම පරම්පරාවෙන් එනවානම් එන්නේ වාසගම් විතරයි. දැන් වසර 70 ක් මේ පක්ෂ දෙකම පාලනය කළා. මේ අය පක්ෂවලට බෙදිලා ඉන්නේ බොරුවට. ඔවුන් නියෝජනය කරන්නේ එකම කඳවුරක්. ඡන්දෙදි විතරයි බෙදෙන්නේ. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට මෙවර පළාත් පාලන ආයතනවල බලය දෙන්න. වසර 4 ක් දීලා බලන්න. හොඳ නැතිනම් ඊළඟ මැතිවරණයේ දී වෙනස් කරන්න.
මධ්‍යම ආණ්ඩුව මහ හොර ගුහාව වෙලා, පළාත් සභාව පළාත් හොර ගුහාව වෙලා, ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය හොර ගුහාව වෙලා. මේවාගේ හොරු ලගින්නේ නැති නැනක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණට බලය දෙන්න යයි පැවැසීය.
මෙම අවස්ථාවට එක් වූ කෑගල්ල දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා -
ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණයට ආවේ අකමැත්තෙන්. මැතිවරණ සිතියම අනුව 2015 මාර්තු 16 තියන්න තිබුණේ. ආණ්ඩුව ඒක කල් දාලා කීවා පවතින ඡන්ද ක්‍රමය ජරාජීර්ණ වෙලා. මේ ඡන්ද ක්‍රමය වෙනස් කරමු කියලා. මහින්ද රාජපක්ෂ යුගයේ කේවල මැතිවරණ ක්‍රමය ගෙනාවා. එය බලයේ සිටින පක්ෂයට සදාකල් බලයේ සිටීමට හැකි ක්‍රමයක්. එම නිසා නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් ගෙනාවා. සමානුපාතික ක්රමයේ මනාප ක්‍රමය නිසා අදාළ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් නැතිව යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් යටියන්තොට මැතිවරණ කොට්ඨාසයට වසර 23 ක් මන්ත්‍රීවරයෙක් නෑ. නමුත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක් හිටියා. නව ක්‍රමය යටතේ කොට්ඨාසයට අදාළ මන්ත්‍රීවරයෙක් ඉන්නවා.
මනාප පොරයක් නෑ. කාන්තා නියෝජනයත් සියයට විසිපහක් ලැබෙනවා. රටේ සියයට 52 දශම 8 ක් කාන්තා ජනගහනය. නමුත් ප්‍රතිපත්ති, තීරණ ගන්න ක්‍රියාවලියේ නෑ. අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 න් කාන්තාවෝ ඉන්නේ 12 යි. ප්‍රතිශතයක් විදියට සියයට 5 ක්. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිවීම හොඳයි. ඒවායේ වංචා, දූෂණ අඩුවෙනවා. ආණ්ඩුව අකමැත්තෙන් මැතිවරණයට ගියේ දෙණියාය, හාලිඇල, කඩුගන්නාව, පඬුවස්නුවර පුද්ගලයෝ 4 දෙනෙක් නඩු දැම්මා. ඒ අය 4 දෙනා කොළඹට ඇවිත් හමුවෙලා එකම නීතිඥයා අල්ලලා උසාවි දැම්මේ. හරියට ඒ මහගම සේකරගේ තුම්මං හංදිය චිත්‍රපටිය වගේ. මේවා දන්න අය දන්නවා.
පළාත් පාලන ආයතන 341 ට නාම යෝජනා දෙනකොට එකදු නාම යෝජනා පත්‍රයක්වත් ප්‍රතික්ෂේප නොවුණේ ජනතා විමුක්ති පෙරමුණේ පමණයි. ලබන වසරේ පෙබරවාරි හතර වන දින 70 වෙනි නිදහස සමරන්න යනවා. ලොව රටවල් 198 අතරින් දූෂිත අතින් 4 වන තැන හිමි කර ගෙන තියෙනවා. සිය දිවි හානි කර ගැනීම අතින් ලොව 2 වන ස්ථානය හිමි වෙලා තියෙනවා. 70 වන නිදහස සමරන අවස්ථාවේදීත් මෙම තත්ත්වය වෙනස් කර ගැනීමට ගමේ පාලනය ජනතා විමුක්ති පෙරමුණට දෙන්න යැයි පැවැසීය.
මෙම අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් වසම්වල ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෝ ද සහභාගි වී සිටියහ.