
ජනපති රිෂාද් බදුයුදීන්ට පැවරූ දූත මෙහෙවර
සෞදි අරාබියේ රැකියාව කරන අතරවාරයේ සමාජ මාධ්යයේ පළකළ සටහනක් හේතුවෙන් සිරදඬුවම් සහ පසුව මරණ දඬුවමට නියම වූ අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු විවිධ දේශපාලකයන් ගත් වෙහෙස ප්රතිඵලදායක වූයේ ඔහුගේ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි ශේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි. මෙම සිදුවීම දැනගත් පසු ජනාධිපතිවරයා අනෝජන් සිවරාසාගේ නිවසට යන ලෙස විපක්ෂයේ මන්ත්රීවරයකු වන රිෂාද් බදියුදීන්ට කතාකර එකඟ කරවා ගත් බව බොහෝ දෙනා නොදන්නා රහසකි.
“මේක හරි සංකීර්ණ ප්රශ්නයක්. ජාතිවාදය ඇවිස්සෙන්නේ නැති විදිහට මේ ප්රශ්නය විසඳගන්න ඕනෑ”. තම සමීප නිලධාරීන්ට එසේ කී ජනාධිපතිවරයා, විපක්ෂයේදී ඉතා සමීපව ඇසුරු කළ මුස්ලිම් දේශපාලකයකු වන රිෂාද් බදියුදීන්ට දුරකතන ඇමතුමක් ගත්තේය.
“රිෂාද් අපි අතර මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් මේක රට වෙනුවෙන් බුද්ධිමත්ව තීන්දු තීරණ ගන්න ඕනෑ වෙලාවක්. මේ තරුණයා කළ වැරැද්ද ගැන අපට පස්සෙ වාද විවාද කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේ තරුණයාගේ ජීවිතය බේරා ගන්න ඕනෑ.... මේ වැඩේට ඔයාලගෙ සහාය ඕනෑ. ජාතිවාදී ආරවුලක් ඇති නොවෙන්න මේ ප්රශ්නය විසඳගන්න උදව් වෙන්න” ජනාධිපතිවරයා රිෂාද්ට කීවේය.
“කියන්න ජනාධිපතිතුමනි, මොකක්ද මගෙන් කෙරෙන්න ඕනෑ...” රිෂාද් විමසීය.
“ඔයා දැන්ම ම යන්න අනෝජන් සිවරාසාගෙ ගෙදරට. ගිහින් ඒ ගෙදර අයට කරුණු වටහල දෙන්න. ඔයාලගෙ මැදිහත්වීම දිගටම අපිට ඕනෑ....” ජනාධිපතිවරයා කීවේය.
රිෂාද් බදියුදීන් මන්ත්රීවරයා එයට එකඟ විය. ඔහු ඒ මොහොතේ හැඳ සිටි සරම පිටින්ම වහා සිවරාසාගේ නිවසට ගියේ තම දූත මෙහෙවර ඉතා හොඳින් තේරුම් ගෙන සිටි නිසාය. සිවරාසා ගේ මෑණියන් සමග කතා කළ රිෂාද් පැවසුවේ, තමන් ඇතුළු මුස්ලිම් ජනතාව අනෝජන් සිවරාසා වෙනුවෙන් කළ හැකි සියල්ල කරන බවය.
ඒ අතර විපක්ෂනායක සජිත් ප්රේමදාස ද අනෝජන් සිවරාසාගේ නිවසට ගොස් ඔහුගේ මවගේ දුරකථනයෙන් අනෝජන්ට ඇමතුමක් ගෙන කතා කළේය. විපක්ෂනායකවරයා කීවේ ඔහුගේ නිදහස වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරන බවය.
එයට අමතරව තවත් දෙදෙනකුගේ කැපීපෙනෙන දායකත්වයක් ඔහු වෙනුවෙන් ලැබිණි. ඒ ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ විපක්ෂයේ කැපී පෙනෙන දේශපාලකයකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා ය. දෙදෙනාම සෞදියට ගොස් එම තරුණයාගේ නිදහස වෙනුවෙන් ක්රියාකාරී වැඩකොටසක් ඉටු කළහ. ඔහුට නියම වූ මරණ දඬුවම අහෝසි කළ ද, මුලින් පැනවූ දඬුවම ඒ අනුව සක්රීය විය.
ජනපති ආයෝජන සමුළුවේ
ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව ඉකුත් සතියේ ආරම්භ වූයේ කොළඹ ෂැංග්රිලා හෝටලයේදී ය. ශ්රී ලංකා වාණිජ මණ්ඩලය මගින් එම සමුළුව සංවිධානය කර තිබිණි. විදේශීය ආයෝජකයන් ඇතුළු පිරිසක් ද සහභාගි වී සිටි එම සමුළුවේ විශේෂ අංගයක් වූයේ සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සංවාදයක් පැවැත්වීමය. ජනාධිපතිවරයා සමග සංවාදය මෙහෙයවූයේ වාණිජ මණ්ඩලයේ උපසභාපති බිඟුමාල් තේවරතන්ත්රි විසිනි. ඔහු එහිදී මෙසේ කීවේය.‘“අපි ඔබතුමා හමුවන දෙවැනි වතාව තමයි මේක. ඔබ බලයට ඇවිත් මාස දෙකකින් තමයි අපි මුලින්ම හමුවුණේ. මම ආපහු එදා ඔබගේ කතාව තිබුණු වීඩියෝ එක බැලුවා. එදා ඔබතුමා කී දේවල් සහ අද ආණ්ඩුව කරගෙන යන දේ අතර ලොකු පරතරයක් හා වෙනසක් අපට පෙනෙන්නේ නෑ.....” උපසභාපතිවරයා කීවේය.
‘දිට්වා විපත, මැදපෙරදිග යුද තත්වය අපට අභියෝගයක් වුණා. එතැනදී සමහර කරුණු ගැන අපට ඍජු තීරණ ගන්න වුණා. ඇතැම් අයට ඒක ඒ වෙලාවේ වැරදියි කියා පෙනුනට පසුව ඔවුනුත් ඒ තීන්දු හරි කියා කීවා.....” ජනාධිපතිවරයා කීවේය.
එහිදී අයි.එම්.එෆ්. ගිවිසුම ලබන මාර්තු මාසයේ අවසන් වූ පසු ගන්නා මීළඟ පියවර ගැනද විමසූ අතර, ජනාධිපතිවරයා පැවසුවේ, මුල් ගිවිසුම අත්සන් කිරීමට සිදුවූයේ රටට ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට බවය. එම ස්ථාවරත්වය දැන් ළඟාකරගෙන ඇති අතර, මීළඟට ඇත්තේ ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීමය. ඒ සඳහා රජය යෝජනා කරන වැඩපිළිවෙළට එකඟතාව ලැබෙන්නේ නම් දෙවැනි ගිවිසුමක් ගැන සලකා බැලිය හැකි බවද ජනාධිපතිවරයා පැවසීය. එහෙත් දෙවැනි ගිවිසුමකට යාමට රජය ස්ථිර තීන්දුවක් ගෙන ඇති බවක් මේ දක්වාම දැනගන්නට නැත.
එම සාකච්ඡාවෙන් පසු දේශීය ව්යාපාරිකයෝ පිරිසක් ජනාධිපති අනුර සමග සුහද සාකච්ඡාවක ද නිරත වූහ. ජනාධිපතිවරයා ද ඔවුන් සමග ඉතා සුහදව කතාබහේ යෙදුණේය.
‘‘ඉතිං කොහොමද?...” ජනාධිපතිවරයා ව්යාපාරිකයකුගෙන් විමසුවේය.
‘‘වරදක් නෑ ජනාධිපතිතුමා. ඔබතුමා වගේ හැම පැත්තක්ම බලන ඒ වගේම ආර්ථිකය ගැන අවබෝධයක් ඇති නායකයෙක් හිටියනම් රට මීට වඩා දියුණුයි“ බව පිළිතුර විය. එයට නිහතමානීව සිනාසුණු ජනාධිපතිවරයා කීවේ මෙවැනි කතාවකි.
‘එක්කෙනෙක් දෙන්නෙක් හැර හිටපු ගොඩක් අය ආර්ථිකය ගැන නොදැන වරද්ද ගත්තෙ නෑ. එයාලගෙ දේශපාලන ප්රතිපත්ති නිසා රට තැනකට ආවා. දැන් ඒ ගැන කතා කරල තේරුමක් නෑ. අපි එකතු වෙලා රට හදමු....” ජනාධිපතිවරයා එම ව්යාපාරිකයන්ට කියා සිටියේය.
මහ නාහිමියන් සජබයට දොස් කීවා ද?
බෞද්ධයන්ගේ මහත් ගෞරවයට පාත්ර වූ චීවරය පිළිබඳව මතුව ඇති තත්ත්වය ගැන මහනුවරට ගොස් මහානාහිමිවරුන් සමග කතිකාවක යෙදිය යුතු බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කළේ මෙම තත්ත්වය වර්ධනය වන විටය. ඒ අනුව ඔහු තමා සමග නුවර යාමට කැමති දැයි මහනුවරට කිට්ටු දිස්ත්රික්කවල මන්ත්රීවරුන් කීපදෙනකුටම දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල හා චමින්ද්රානි නුවරම සිටි අතර, සුජීව සේනසිංහ ද සිටියේ නුවරය. මාවතගම ජේ.සී. අලවතුවලට මහලේකම්වරයා දුරකථනයෙක් ඇමතූ විට ඔහු කියා සිටියේ තමා සිටින්නේ මාවතගම නිවසේ බවය.
“හොඳයි.. එහෙනම් හෙට උදේම නුවරට එන්න. අපි නායක හාමුදුරුවො බැහැදකින්න යනවා’’ මහලේකම් රංජිත් කීවේය.
ඒ අනුව පසුදා රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිස කොළඹ සිට පිටත්ව ගියහ. සුජීව සේනසිංහ, කිරිඇල්ල, ජේ.සී. අලවතුවල ඇතුළු පිරිස උදෑසනම සූදානම්ව සිටියහ.
‘‘අපි මහනායක හාමුදුරුවරු දෙන්නම බැහැදැකලා ආණ්ඩුව චීවරයට කරන හිරිහැර ගැන දැනුවත් කරන්න ඕනෑ.... රංජිත් පිරිසට තම අදහස කියා සිටියේය.
සජබ නායකයන් පළමුවෙන්ම බැහැදැක්කේ මල්වතු මහනාහිමියන්ය.‘“චීවරය ගලවන්න ගිහියන්ට බෑ.... අපි දිගටම ඉන්නේ ඒ ස්ථාවරයේ....” මහලේකම් රංජිත් මහනාහිමියන් හමුවේ කියා සිටියේය.
“මේ ආණ්ඩුවෙ අය දළදා මාලිගාවට බෝම්බ ගැහුවා..... කතරගම පෙරහැරට ගැහුවා.....’’ මහලේකම් රංජිත් යළිත් කීවේය. එහිදී මහනාහිමින්ගේ ප්රතිචාරය එයට වෙනස් විය.
‘‘බෝම්බ ගැහුවෙ නෑනෙ.... එල්.ටී.ටී.ඊ. එක වගේ කෙරුවෙ නෑ... එදා පොලිසියට ගහල තුවක්කු උදුරා ගත්ත එකනෙ සිද්ධ වුණේ. මේ ආණ්ඩුව එන්න කලින් කොච්චර දේවල් කීවද? දළදා පෙරහැරත් තියන්න බැරි වෙයි කීවනෙ. ඒත් ඔය අපූරුවට පෙරහැර තිබ්බේ....’’ මහනාහිමියෝ කියා සිටියහ. සාකච්ඡාව තවත් බොහෝ වේලාවක් පැවැත්වුණත් ජනමාධ්යයෙන් මෙම සාකච්ඡාවේ හඬ පටය එළියට ඒමත් සමග මතයක් පැතිර ගියේ නායක හාමුදුරුවන් සජබ නායකයන්ට හොඳටම දොස් පැවරුවා කියාය.
“අපි චීවරය රැක ගන්නයි මේ උත්සාහ කරන්නේ එසේ කී සජබ නායකයන් අස්ගිරි මහ නාහිමියන් දැනුවත් කිරීමට ද පියවර ගත්හ.
පිරිස ආපසු එද්දී මන්ත්රීවරයකු මහලේකම් රංජිත්ගෙන් විමසුවේ නායක හාමුදුරුවො අර හිටපු නිලමේ කෙනෙක් ගැන මොකක්ද කීවේ කියාය.
‘‘අර වැඩ සිටින කරඬුව ගැන කතා බහක් යනවනෙ මේ දවස්වල. හිටපු නිලමෙ කෙනෙක් ඒ කරඬුව මාරු කරපු එක වැරදියි කියල කතා කරල තිබුණනේ. උන්වහන්සේ කීවේ ඒ ගැන. කරඬුව ගැන කතා කරද්දි තමයි ඒ නිලමෙ කිව්ව කියල දළඳා මාලිගාවට පහරදීපු එක ගැනත් උන්නාන්සේ කීවේ....’’ මහලේකම් රංජිත් කියා සිටියේය.
සජිත් නාහිමිවරුන් බැහැදකී
සජබ නායක සජිත් ප්රේමදාස මහනාහිමිවරුන් කීප නමක්ම බැහැදැක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ගිහි ඇඳුමින් උසාවියට ඉදිරිපත් කිරීම ගැන තම විරෝධය පළ කිරීමට පියවර ගත්තේය. කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රි සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් බැහැදුටුවේ වාද්දුව බෝධිරාජ මහා විහාරස්ථානයේදී ය. අජිත් පී. පෙරේරා සහ ජගත් විතාන යන මන්ත්රීවරුද සජබ සංවිධායකවරයකු වන නයනක රන්වැල්ලද විපක්ෂ නායක සජිත් සමග වූහ. ‘චීවරය ගැන තීන්දු ගත යුත්තේ ඒ ඒ සංඝ සබාවලින් කියන එකයි අපේ අදහස හාමුදුරුවනේ. මේ දවස්වල මහා සංඝරත්නය අතර භේද භින්නවීම් ඇති කරන්නත් පිරිසක් කටයුතු කරන බව පේනවා’’ විපක්ෂනායක සජිත් එහිදී කියා සිටියේය. අමරපුර මහා නිකායේ මහානායක මාදම්පාගම අස්සජි නාහිමියන් බැහැදුටු අවස්ථාවේ, උන්වහන්සේ පැවසුවේ, භික්ෂුන් වහන්සේ නමක පැලඳ සිටින චීවරය ඉවත් කිරීම මහානායක ස්වාමින්වහන්සේ නමකටවත් තනිව කළ නොහැකි බවය. මහානායක හිමියන්ට වුවමනාව තිබුණත් තනිව සිවුරක් ගලවන්න බෑ. ඒකට කාරක සංඝ සභාව කැඳවන්න ඕනෑ. එතැනදි කරුණු කාරණා විමසලා සංඝ සභාවේ අනුමැතියෙන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. තනිව චීවර ගලවන්න බෑ.....’’ නාහිමියෝ කියා සිටියහ.
කළුතර මන්ත්රීන්ට සජිත්ගෙන් රෑ කෑමක්
විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඉකුත් සතියේ කළුතර දිස්ත්රික්කයේ සජබ ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ පළාත් පාලන ආයතන මන්ත්රීවරුන්ට කළුතර ටැංජිරීන් හෝටලයේදී රාත්රී භෝජන සංග්රහයක් ලබාදුන්නේය. එයට හේතුවූයේ පක්ෂයේ දෙවැනි හා තුන්වැනි පෙළ සමග සුහදතාව වැඩිකර ගත යුතු බවට සජිත් ගත් තීන්දුවකි.
කළුතර පළාත් පාලන මන්ත්රීවරුන්ගේ සංසදය ද මෙයට පෙර ඉල්ලා තිබුණේ නායකතුමා සමග සමීපව කතාබහ කිරීමේ අවස්ථාවක් තම මන්ත්රීවරුන්ට ලබාදෙන ලෙසය. ඒ අනුව ඉකුත් සිකුරාදා එම හමුව සහ සාදය පැවැත්විණි. ජගත් විතාන, අජිත් පී. පෙරේරා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු මන්ත්රීවරු ද එම හමුවට සහභාගි වූහ. විපක්ෂනායකවරයා මන්ත්රීවරුන් අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු විමසමින් කාලය ගත කළ අතර, එහිදී දේශපාලන කරුණු කිසිවක් කතා බහ නොවිණි. බොහෝ පළාත් පාලන ආයතන මන්ත්රීවරුන් තම පක්ෂයේ නායකයා හමුවීමට ලැබුණු අවස්ථාව සැමරුවේ ඔහු සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටිමිනි.
‘‘කන්න විතරයි. බොන්න හෙම නෑ....” සිනාසෙමින් එසේ කී සජිත් ද මන්ත්රීවරුන් සමග රාත්රී භෝජනය භුක්ති වින්දේය.
අශෝක් අබේසිංහ අස්වෙයි
හිටපු රාජ්ය ඇමැතිවරයකු සහ සජබ ආසන සංවිධායකවරයකු වූ කුරුණෑගල අශෝක අබේසිංහ පක්ෂයේ දැරූ ආසන සංවිධායක තනතුර සහ වෙනත් තනතුරු සියල්ලෙන්ම ඉල්ලා අස්වීමට ඉකුත් සතියේ තීන්දු කළේය. ඔහු ඒ පිළිබඳව ලිපිය සකසා භාරදුන්නේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරටය.
‘මොකද මේ හදිස්සියේම” රංජිත් විමසුවේය.
“මහලේකම්තුමා දන්නවනෙ මම යූඇන්පියේ ඉඳලා සජබය බිහි කරන්න මහන්සි වෙච්චි මිනිහෙක්. මම මුලින්ම ආපු කෙනෙක්. එදා අපිට දිනන්න බැරි නිසයි මේ පක්ෂය හදන්න සිද්ධ වුණේ. දැන් මගේ මතය අපියි එජාපයයි එකතු නොවී දිනන්න බෑ. ඒකට මේ පක්ෂ නායකයො දෙන්නම පොළඹවන්නයි මම ඉල්ලා අස්වෙන්නේ....” අශෝක් අබේසිංහ කීවේය
‘‘“කලබල වෙන්න එපා. පක්ෂ දෙක එකතු කරන වැඩපිළිවෙළක් මේ දවස්වල කෙරෙනවනේ. ටිකක් ඉඳල බලමු....” මහලේකම් රංජිත් කීවේය.
‘‘“ඒ වුණාට මගේ තීන්දුව වෙනස් වෙන්නෙ නෑ....” එසේ කී අශෝක් අබේසිංහ තම ඉල්ලා අස්වීමේ ලියුම භාරදුන්නේය.
අශෝකගේ ඉල්ලා අස්වීම ගැන දේශපාලකයන් අතර විවිධ මතවාද පැතිර ගියේය. සමහරුන් කීවේ පිටින් ආ දේශපාලකයන් අශෝකලාව කපාගෙන දේශපාලනය කරන නිසා අශෝක ඉල්ලා අස්වූ බවය. අශෝකගේ ඡන්ද පදනම අඩුවී ඇති නිසා ඉවත් වූ බව ද තවත් පිරිසක් කීහ. එහෙත් අශෝක මේ කිසිවකටත් උත්තර බැන්ඳේ නැත.
මහනුවර පා ගමන ඇරඹුණ හැටි
ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවූ දා සිටම උලපනේ සුමංගල හිමියන් සිටියේ බුද්ධ චීවරයට වූ හිරිහැර පිළිබඳ කම්පාවෙනි. හිටපු ඇමැතිවරයකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු කිහිප දෙනකුම උලපනේ හිමියන්ට කතා කළ අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ, “අපි නිකම් ඉඳල බෑ.... මොනවා හරි කරන්න ඕනෑ” කියාය. ඒ අනුව ඉකුත් ඉරිදා මහනුවර දළදා මාලිගාව ඉදිරිපසට රැස්වෙන්නට සංවිධාන කටයුතු කෙරිණි. මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ ගණනාවක්ම දළදා මාලිගාව ඉදිරිපසට රැස්ව සිටියහ.
‘චීවරයට අත තිබ්බාටයි අපේ මේ විරෝධය. ඥානසාර හාමුදුරුවන්ට සාධාරණය ඉටුවන තුරු අපි පාගමන යනවා....” උලපනේ සුමංගල හිමියන් පාගමන ආරම්භ කළේ එසේ කියමිනි. දිනපතා නගරයෙන් නගරය පසුකර 15 වැනිදා කඩවත සිට විශාල ජනකායක් සමග කොළඹට යාමට සැලසුම් කෙරිණි. ඥානසාර හිමියන්ගේ නඩුව යළි කැඳවන්නේ එදිනවීම එයට හේතුවය. මෙම පාද යාත්රාවේ විශේෂත්වයක් වූයේ ආරණ්යවාසී භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක්ද පාවහන් පවා නොමැතිව මෙම පාද යාත්රාවේ නිරත වීමය. පොහොට්ටුවට හිතවත් ගිහියන් සහ දේශපාලකයන් ගණනාවක්ම පිරිකර ඇතුළු දෑ සපයමින් සහාය වූහ.
‘අපි පහළොස්වෙනිදාට කඩවතට ලොකු සෙනඟක් එකතු කරන්න ඕනෑ” සරත් වීරසේකර හිටපු ඇමැතිවරයා පොහොට්ටුවේ දේශපාලකයන් ගණනාවකටම කියා සිටියේ ඒ අයුරිනි.
පා ගමන නිට්ටඹුව පසුකරද්දී උලපනේ සුමංගල හිමියන් දොස්තර රාජිත සේනාරත්නට කතා කර කීවේ, මේ යන එන පිරිසට කෑම බීම ඇතුළු පහසුකම් ගැන නම් බලන්න වෙනවා කියාය.
“හොඳයි හාමුදුරුවනේ....” එසේ කී දොස්තර රාජිත ප්රදේශයේ තවත් දේශපාලකයන් කිහිප දෙනකුට කතා කර කඩවත දක්වා යන ගමනට අවශ්ය පහසුකම් සූදානම් කළේය. පක්ෂ ගණනාවකින්ම ආධාරකරුවන් පැමිණ සිටියද, හිමිවරුන්ගේ ආපසු ගමන් සඳහා වියහියදම් ප්රශ්න ඉටුවී තිබුණේ නැත. රාජිත ඒ සඳහා පහසුකම් යෙදුවේය.
“අලුත්ගම ඉඳල හැම ආසනේකින්ම බස් එකක් පුරවල සෙනඟ එවනවා කඩවත ඉඳලා යන්න” දොස්තර රාජිත උලපනේ හිමියන්ට කීවේය.
රාජපක්ෂවරුන්ට නඩු පිට නඩු
රාජපක්ෂවරුන් පිළිබඳ නඩු වේගවත් වී ඇති බවක් ඉකුත් සතියේ පෙනුණි. නාමල් රාජපක්ෂ මෙන්ම ශිරන්ති රාජපක්ෂ ද රිමාන්ඩ් භාරයට පත්කර සිටින අතර, යෝෂිත රාජපක්ෂට ද නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට පැමිණීමට සිදුවිය. ඇමරිකාවේ සිටින බැසිල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් නොවූ හේතුවෙන් ජාත්යන්තර රතු වරෙන්තුවක් නිකුත් විය.
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් ද අල්ලස් චෝදනා ඇති නඩුවක් හේතුවෙන් ඉකුත් සතියේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ඔහු රඳවා ඇත්තේද නාමල් රාජපක්ෂ රඳවා ඇති වාට්ටුවේමය. රෝහිත බෝගොල්ලාගම ද එම වාට්ටුවේම රඳවා ඇත.
පොහොට්ටුවේ දේශපාලකයන් පිරිසක් නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීම සඳහා ඉකුත් සතියේ ද රිමාන්ඞ් බන්ධනාගාරය වෙත ගියහ. මහලේකම් සාගර කාරියවසම්, ජානක වක්කුඹුර, ඩී.වී. චානක හා ජොන්ස්ටන් ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ඒ වෙද්දී රෝහල් ගත කර තිබිණි. නාමල් තම සගයන්ගෙන් මේ බව විමසූ අතර ඩී.වී. චානක කීවේ,“‘මම දැනුත් එතන ඉඳලා ආවේ. දැන්නම් තත්ත්වෙ හොඳයි” කියාය.
“පවුලෙ ඔක්කොම දැන් රිමාන්ඩ් කරල ඉන්නෙ....” සංජීව එදිරිමාන්න කීවේය.
“මේ ආණ්ඩුවට වැඩක් කරගන්න බෑ. හැබැයි මර්දනය නම් හොඳට දන්නවා....” ජොන්ස්ටන් කීවේය.
‘‘බුද්ධාගමටත් පහර ගහගෙන යනවනෙ.....’’ සාගර කාරියවසම් කීවේය.
“නීතිය හැමෝටම උඩින් කියල අනුර කුමාර නම් කියනවා. බලපුවහම මාලිමාවට යටින් තියෙන්නේ....” ඩී.වී. චානක පැවසුවේය.
“ඔයගොල්ල ඉන්න එක මට ලොකු හයියක්. තාත්තිගෙ විස්තර බලලා ආයෙ ආවාම මාව දැනුවත් කරන්න. ශාඛා සමිති ඔක්කොමත් හදලා ඉවර කරන්න....” නාමල් තම සගයන්ට කියා සිටියේය.
සිරිලිය ගිණුමේ මුදල් වංචාවක් පිළිබඳ චෝදනා නගා රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව ඉකුත් අඟහරුවාදා කැඳවූ අවස්ථාවේ ඇය රිමාන්ඩ් භාරයේ සිට කැඳවාගෙන ආවේ නැත. එයට හේතුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබීමය. එදින සවස ජානක වක්කුඹුර සහ යූ.කේ. සුමිත් රෝහලට ගොස් තත්වය විමසා බලා නාමල් මුණගැසෙන්නට යළි බන්ධනාගාරයට ආහ.
“මොකද අම්මට....?” නාමල් විමසීය.
‘එතුමිය හෘද රෝග ඒකකයට ඇතුළත් කරල රෝග පරීක්ෂණ කරගෙන යනවා....” යූ.කේ. සුමිත් කියා සිටියේය.
රාජ දූත

