ප්‍රේමකීර්ති රණතුංග
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ සමග සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූග ජියාන්හුවා මහතා ලංකාදීපයට පැවැසීය.
චීනයේ බීජිං නුවර කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශයේ ඉකුත්දා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය, ශ්රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සංධානය සමග ද තම සබඳතා ඉතා යහපත්ව පවත්වාගෙන යන බව කී ඒ මහතා මෙම වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික කොංග්‍රසයේ 19 වැනි සමුළුවට ද මෙයින් පක්ෂ කීපයකට ආරාධනා කර ඇති බවද පැවැසීය.
ජාතික කොංග්‍රසයේ කමිටු රැස්වීමක් කැඳවෙන්නේ වසර 5කට වරකි. එමගින් පත්කරගන්නා නිලධාරීහු ඉදිරි වසර 5 සඳහා චීනයේ පාලන බලයට සුදුසුකම් ලබති.
මෙහිදී අදහස් දැක් වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර ලේකම් කාඕ සින්ගැන් මහතා පැවසුවේ චීන-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි වෑයමක යෙදී සිටින බවයි.
චීනය සමග දැඩි සබඳතා පවත්වන රටවල ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ තම පක්ෂයේ 19 වැනි සමුළුවට ගෙන්වා ගැනීම තම අරමුණ බව කී යූ ජියැන්හුවා මහතා ලෝකයේ රටවල 600කට ආසන්න දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවනු ඇතැයි ද සඳහන් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය 1921දී ෂැංහයි නුවරදී පැවැත්වුණු අතර 1928 දී රුසියාවේ මොස්කව් නුවරදී ද ජාතික සමුළුව රැස්වී තිබේ. 1956 රැස් වූ 8 වැනි ජාතික කොංග්‍රසයේ සිට දිගටම මෙම රැස්වීම පැවැත්වෙන්නේ බීජිං නුවරදීය. 1969 වසරේ සිට මෙම ජාතික කොංග්රස් මහා සමුළුව වසර 5කට වතාවක් රැස්වේ.