වස් සමයේ පිඬුසිඟා වැඩීම හරිදැයි රංජන් ප්‍රශ්න කරයි


විනීතා එම් ගමගේ
 
විවිධ පක්ෂ හා කණ්ඩායම් තම ප්‍රකාශයක් ගැන දිගින් දිගටම විවේචනය කරන නමුත් තමන් කිසි සේත්ම සිල්වත් මහා සඟරුවනට අපහාස වන කිසිදු ප්‍රකාශයක් නොකළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
 
මේ ගැටුමට මුල සිල් රෙදි නඩුවේ වැරදිකරුවන් වෙනුවෙන් දඩ ගෙවීම සඳහා පිණ්ඩපාතයේ වඩින්නට මහා සංඝරත්නය තීරණය කිරීම යැයි කී ඒ මහතා වස් සමයේ පිඬු සිඟා වැඩීම දහමට අනුව වැරදි නොවේදැයි ප්‍රශ්න කළේය. 
 
වස් කාලය නොවුනත් පි`ඩු සිඟා වැඩිය හැක්කේ ආහාර හා ඖෂධ පමණක් නොවේ දැයි හෙතෙම තව දුරටත් ප්‍රශ්න කළේය. 
 
බුදු හිමියන්ගේ අනුගාමිකයකු වන තමන් කිසිසේත්ම මහා සංඝ රත්නයට අගෞරව නොකරන අතර සියලූ ප්‍රකාශ දුශ්ෂීල භික්ෂුන් අරභයා කළ බව ද  ඔහු සඳහන් කළේය.  හැම මොහොතකම පිරිසිදු බුදු දහම රැක ගැනීමට පෙනී සිටින තමන් එම  ප්‍රකාශය  කළේ ද ඒ සඳහාම බවත් බුදු හිමියන්ටත් මහා සංඝ රත්නයටත් පසඟ පිහිටුවා වඳින බවත්  කීවේය. 
 
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස්  පළ කළේ මාදිවෙල පිහිටි ඔහුගේ නිල නිවාසයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.